ධනංජිගේ දකින නරක, හදාගන්න ඕන කියලා හිතෙන ගතිගුණයක් නැද්ද...?
තියෙනවා... තියෙනවා... සමහර දේවල්වලදී එයා මෝඩ විදිහට තීරණය කරන වෙලාවල් තියෙනවා. ධනා ගන්න සමහර තීරණ හරි හදිසි තීරණ කියලයි මට හිතෙන්නේ. හැබැයි ඉතින්... පස්සේ එයාට හිතිලා “මේක මෝඩ වැඩක් කියලා කියන වෙලාවලුත් තියෙනවා.
ඔයා හිතන විදිහට ධනා වැඩිය දක්ෂ නර්තනයට ද...? රංගනයටද...?
මම නම් හිතන්නේ ධනා වැඩිපුරම දක්ෂ නර්තනයටයි. අපි එකතුවෙලා නර්තන තරගයටත් ඉදිරිපත් වුණානේ. ඒ වෙලාවේදී වුණත් ධනා පුදුම ජවයකින් නැටුවා... සමහර වෙලාවට මටත් පුදුමයි මේ ධනාමද කියලත්... ඒ තරමටම එයා නර්තනයට හරි දක්ෂයි. ඒ නර්තන තරගාවලියේදී අපි දෙන්නාටම පුළුවන් වෙලාවක් දාගෙන අපි පුරුදු පුහුණු වීම් කළා. අපි පුළු පුළුවන් විදිහට වෙලාවල් හදාගෙන අපේ ගෙදරදී හරි පුහුණුවීම් කරන තැන්වලදී ඒ පුහුණුවීම් කටයුතු කළා. අපි දෙන්නටම ඒකට කැමැත්තක් තියෙන නිසා හැමදාම වේලාවට පුහුණුවීම්වලට ඇවිත් අපි ඒවා පුරුදු පුහුණු වුණා. මොනවා වුණත් ධනා වෙලාවට වැඩකරන කෙනෙක්...
ධනංජි නිසා හිතට තදින්ම දැනුණු සිදුවීමක් මතක් කළොත්...?
ඔව්... ධනංජි කියන්නේ හරිම සංවේදී යාළුවෙක්. මට මතකයි අපි රිහසල් කරන්න තිබුණු දවසක ධනා එන්න පරක්කු වුණා. කෝල් කළත් ධනා ආන්සර් කළේත් නැහැ. පැයකට විතර පස්සේ ඔන්න ධනා ආපුවහම අපි දුවලා ගිහින් බලද්දී ධනාගේ අලුත්ම කාර්එකේ පිටිපස්සේ සීට් එකේ ලේ ගොඩාක් තිබුණා... ධනාගේ ඇඟේත්, එයාගේ අම්මාගේ ඇගේත් තැනින් තැන ලේ තිබුණා... අපි හොඳටම එදා බය වුණා.
ඇත්තටම මොකද වෙලා තියෙන්නේ...?
එදා ධනාලා රිහසල් එද්දී පාරේ ලොකු අනතුරක් වෙලා. අම්මා කෙනෙකුයි, තාත්තා කෙනෙකුයි, දුවෙකුයි වාහනයකට හැප්පිලා. තාත්තාට හොඳටම අමාරුයිලු. හැබැයි කිසිම කෙනෙක් මේ අයව වාහනයකට දාගෙන නැහැ. පොලිසි ගාණේ යන්න තියෙන කරදරයටයි. වාහන ජරාවෙනවට තියෙන අකමැත්තටයි. කොහොම හරි ධනා ඔතනින් යද්දී ඉක්මනින්ම වාහනය නවත්තලා ළඟ හිටපු කට්ටියගෙන් උදව් ඇතිව අර පිරිමි මනුස්සයාව වාහනයට දාගෙන රාගම හොස්පිටිල් එකට බාරදීලා. ධනා එයාගේ කාර්එක ගත්තු අලුතම තමයි මේ සිදුවීම වුණේ. ඒවගේම ධනා කියන්නේ හරිම සංවේදී හොඳ යාළුවෙක්. කාටහරි කරදරයක් වුණොත් ධනා හරි ඉක්මනට ඒකට ඉදිරිපත් වෙනවා.
ධනායි ලෝචනයි ට්‍රිප් එහෙම යනවා කියලයි ආරංචිය...?
ඔව්... ඔව්... ඒ දවස්වල නම් අපි දිගටම ඔය කොහේ හරි ගියා... පන්සල්වලට දේවාලවලට එහෙමත් යනවා. පින්කම් කරන්නත් අපි යනවා. ඉතින් ඔය ට්‍රිප් එහෙම යද්දී ධනා සින්දු එහෙමත් කියනවා. හැබැයි වැඩේ කියන්නේ ඒ සින්දු අපිට අහන් ඉන්න තමයි අමාරුයි. මට මතකයි ඔහොම ට්‍රිප් එකක් අපි ගියපු වෙලාවක අපි පාරේ යන මනුස්සයෙක්ගෙන් පාරක් ඇහුවා. ඒ මනුස්සයා යන පාර කියපු විදිහට මට එකපාරටම හිනා ගියා. මගේ හිනාව ලේසියෙන් නැවැත්තෙන හිනාවකුත් නෙවෙයිනේ. එකපාරටම ධනාත් මහ හයියෙන් හිනා වුණා. ඇත්තටම ඒ වෙලාවේ අපි ලොකු අපහසුතාවකට පත්වුණා. අපි හිනාවෙද්දී ඒ මනුස්සයාට හරි නැහැනේ. ඒ නිසා “හරි අංකල් කියලා අර බාගෙට පාර කියවා කියවා හිටපු මනුස්සයාට ස්තූති කරලා අපි වාහනය අරන් එතනින් ආවා.
ධනාවගේ යාළුවෙක් ලැබුණු එක ගැන ලෝචනාට මොකද හිතෙන්නේ...?
හොඳයි... ඇත්තටම ඒ වගේ යාළුවෙක් ලැබුණු එක ගැන හොඳයි. ධනා වගේම එයාගේ අම්මත් හරි හොඳයි. හැමවෙලේම අපි එක්ක ඉන්නවා. ධනා වගේ දුකේදීත් සැපේදීත් ඉන්න හොඳ යාළුවෙක් ලැබුණු එක ගැන ගොඩාක් සතුටුයි. හැබැයි ධනා හැමදේටම ආසාවල් තියෙන කෙනෙක් නෙමේ. කන්න බොන්න ගියත් එයාට ලොකු ආසාවල් නැහැ. හැබැයි සමහර වෙලාවට දුකක් එහෙම දැනුනොත්නම් ධනා දුක කියව කියවා අඬනවා.
ලෝචනා ධනා ගැන එහෙම කිව්වහම ධනාගෙත් ලෝචි ගැන අහන්නේ නැතිවත් බැහැනේ.. බලමුද... ධනා මොනවද තම මිතුරිය ගැන කියන්නේ කියලා...
ධනංජි “අලුත් ගෙදර දැකපු ලෝචනා මොනවගේ කෙනෙක්ද...?
අපේ යාළුකම ඇතිවුණේ මීට අවුරුදු හතකට අටකට විතර කලින්. රවින්ද්‍ර අයියගේ අලුත් ගෙදර නාට්‍යයෙන් තමයි අපි මුලින්ම මුණගැසුණේ. ලෝචනා හරිම හොඳයි. අලුත් ගෙදර තමයි මගේ මුල්ම නාට්‍යය වුණේ. ඉතින්... ලෝචනා හැමෝ එක්කම හරිම සුහදශීලීව කතාබහ කළා. ඒවගේම අලුත් කියලා මාව ගණන් නොගෙන හිටියේ නැහැ. මාත් එක්කත් හොඳට කතා කළා. අලුත් ගෙදර ෂූටිං දවස් දෙකතුනකින් අපි යාළුවෝ වුණා.
ලෝචනා මොනවගේ කෙනෙක්ද...?
ලෝචනා කියන්නේ කට තියෙන කෙල්ලෙක්. කිසිදේකට බය නැති. අසාධාරණයට විරුද්ධ වෙන නොබියව ඒ වෙනුවෙන් නැගී සිටින කටකාර, දඟකාර හැඩකාර කෙල්ලෙක්. ලෝචනා එක්ක කොහේ හරි ගියත් අපිට ඉතින් හිනාව නවත්තන්න නම් හරිම අමාරුයි. අපි හොඳම යාළුවෝ විදිහට පසුගිය කාලයේදී නර්තන තරගයකටත් ඉදිරිපත් වුණා. ඊට පස්සේ අපි දෙන්නා තවත් අපේ මිතුරුකම ළංවුණා. අපි ගමන් බිමන් ගියේ පුරුදුපුහුණු වුණේ එකටයි. ඒ වෙනුවෙන් අපිට ධනංජි ජය ශ්‍රී උදව් කළා. අපේ නර්තනය නිර්මාණය කළේ ඔහුය. ඉතින්... නොසිතුව විදිහට ලෝචනාගේත් මගේත් නර්තන හැකියාවක් මේ තරගාවලිය නිසා අපිට ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබුණා.
ලෝචනා වැඩියෙන්ම කැමැති මොනවටද...?
ලෝචි කන්නේම රතු හාලේ බත් හරි බාස්මති බත් හරි විතරයි. ඉතින් කොහේ ගියත් ඒ දෙකනම් තියෙන්නම ඕනේ. ඒ හැර වෙන කිසිම බතක් එයා කන්නේ නැහැ. මොන මඟුලේ ගියත් මොන කඩේකට ගියත් කාන්තාරයකට ගියත් ඒ දෙකින් එකක් තියෙන්නම ඕනේ. අපිට පෝයකට එළියට බැස්සත් බාස්මතී හරි රතු කැකුළු හරි හොයන්නම ඕනේ. එහෙම නැත්නම් බත් එකක් ගෙදරින් හරි අරගෙන එන්න වෙනවා. එහෙම නැත්නම් කට්ටියටම ඉන්න වෙන්නේ බඩගින්නේ.
ධනා හිතන විදිහට ලෝචි වැඩියෙන් දක්ෂ නර්තනයටද...? රංගනයටද...? නිවේදනයටද...?
මම නම් හිතන විදිහට එයා ගොඩාක්ම රංගනයට සහ නිවේදනයට හරි දක්ෂයි. හැබැයි ලෝචි ඩාන්සින්වලටත් මාර හැකියාවක් තියෙනවා. අපි නර්තන රිහසල් කරද්දී බැහැයි කියලා අතහරින තැන්වලදී “නෑ... අපි කොහොම හරි කරමු... කියලා එයාම තමයි කියන්නේ. මුලදී අපි මේ නර්තන තරගයේදී මේ තරම් දුරක් එන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ. ඒත්... ධනංජ ජය ශ්‍රී අපිට ලොකු සපෝට් එකක් ලැබිලා අපිට බොහෝ දුරක් එන්න පුළුවන් වුණා. ඕනෑම අභියෝගයක් බැහැ නොකියා ලෝචනාට බාරගැනීමේ හැකියාවක් තියෙනවා.
ලෝචනාට කේන්ති යනවාද...?
සෑහෙන්න කේන්ති යනවා. තප්පරයට කේන්ති ගිහින් තව ටික වෙලාවකින් ඒ කේන්තිය ඉවර වෙනවා. මාත් එක්ක වුණත් සමහර වේලාවට ලෝචි කේන්ති ගන්නවා. හැබැයි හරි ඉක්මනට ඒක ඉවරයි. විනාඩියකින් දෙකකින් හිනායන දෙයක් කියලා ලෝචි හයියෙන් හිනාවෙනවා.
ලෝචනා වගේ යාළුවෙක් ලැබීම ගැන මොකද හිතෙන්නේ...?
ලෝචනා ජීවිතේ සැහැල්ලුවෙන් ඉන්න උත්සාහ කරන කෙනෙක්. අපේ ජීවිතේ ලැබෙන දේ අපි බාරගන්න ඕනේ කියලා එයා තමයි මට කියලා දුන්නේ. දුකක් ආවත් ඒවා ගැන හිත හිතා ගොඩාක් දුක්වෙන්නේ නැතිව ඒ දුක ඉවසන්න මට පුරුදු කළේ ලෝචනායි. එයා හරිම සංවේදී කෙනෙක්. මට තාම මතකයි එක දවසක අපි කෑම කන්න තැනකට ගියා. අපි කෑම කමින් ඉඳිද්දී එතන තිබුණු වීදුරුවෙන් ලෝචනා එළියේ පුංචි දරුවෙක් තුරුල් කරන් ඉන්න අම්මා කෙනෙක් දැක්කා. ලෝචනා කෑම කන එක නවත්තලා එළියට ගිහින් අර තරුණ අම්මා එක්ක කතා කරලා අපිට පොඩ්ඩක් ඉන්න කියලා එහා පැත්තේ තිබුණු ෆුඩ්සිටි එකට ගිහින් ලොකු බඩු මල්ලක් අරගෙන අර අම්මට දුන්නා. ලෝචනාට ඒ වෙලාවේ ඇඬුණා. ඇත්තටම හයියෙන් හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්න ලෝචනාට තව කෙනෙකුගේ දුකක් බලන්න බැහැ. එයා හරිම සංවේදී කෙනෙක්. ඉතින් ලෝචි වගේ යාළුවෙක් ලැබුණු මම ඇත්තටම හරි වාසනාවන්තයි.
Dishani