බින්දුසාර භාරතය හෙල්ලූ චන්ද්‍රගුප්ත මෞර්ය නම් බලවත් පාලකයාගේ පුත්‍රයාය. බින්දුසාරගේ පුත්‍රයා වන්නේ අශෝකය. මහාවංස ටීකාවට අනුව අශෝක රජු බින්දුසාර රජුට දාව මෝරිය වංශික 'ධර්මා' නම් බිසවක කුසින් උපන්නෙකි.
අශෝක කුමරු තරුණ වියේ සිටම තම පියාගේ රාජ්‍යයෙහි ප්‍රදේශ දෙකක් පාලනය කළේය. එනම් තක්ෂිලාව හා අවන්ති ජනපදයයි. තක්ෂිලාවේ ඇති වූ කැරැල්ලක් මර්දනය කරන්නට බින්දුසාර රජු යවා ඇත්තේ අශෝක කුමරු බවත් කියැවේ. කෙසේ වෙතත් දීපවංසය අශෝක හඳුන්වා ඇත්තේ 'අශෝක' හෝ 'අශෝක ධම්ම' (ධම්මාශෝක) හා 'පියදස්සි' යන නම්වලිනි. අශෝක රජු කරවූ සෙල් ලිපි වැඩි ප්‍රමාණයක ඔහු හඳුන්වා ඇත්තේ 'දේවානම්පිය පියදසි' යනුවෙනි. 'අශෝක' යන නාමය හඳුන්වා ඇත්තේ සෙල් ලිපියක දෙකක පමණය.
තවත් තැනෙක කියැවෙන්නේ අශෝක කුමරු උදේනිය පාලනය කරමින් සිටින කල තම පියා බින්දුසාර රෝගාතුර වීම නිසා පෙරළා පාටලීපුත්‍ර නගරයට පැමිණ පියාගේ ඇවෑමෙන් මගධ රාජ්‍යයේ පාලකයා බවට පත්වූ බවය.
ලංකාවේ වංසකතා සාක්ෂි දරමින් කියා තිබෙන්නේ අශෝක කුමරු උදේනියට යන ගමනේදී මිත්‍ර සබඳතා ඇති කරගත් 'වේදිස දේවී' කුමරිය හා විවාපත් වූ බවය. එම විවාහයෙන් ඔහුට 'මිහිඳු' හා 'සංඝමිත්තා' යන දරු දෙදෙනා ලැබුණු බවත්ය.
එහෙත් මහාවංසය කියන්නේ.. "අශෝක කුමරු තම පියාණන් විසින් දෙන ලද උදේනි රට රාජ්‍ය හැර බින්දුසාර රජු රෝගාතුර කල්හි පාටලීපුත්‍ර නගරයට පැමිණ එම පුරය තමා අයත්කොට ගෙන පියා මළ කල්හි වැඩිමහල් සහෝදරයා මරා පුරවරයෙහි රාජ්‍යය ගත්තේය.." යනුවෙනි. එය එසේ වී නම් අශෝක කුමරුට සිහසුන සඳහා තම සහෝදරයන් සමඟ සටනක් කරන්නට සිදුව ඇත.
මහාවංස ටීකාව පවසන්නේ අශෝක කුමරු වැඩිමහලු සහෝදරයා ඇතුළු තමන්ට විරුද්ධව සිටි සොහොයුරන් මරා රජු වූ නිසා ඔහු 'චණ්ඩාශෝක' ලෙස නම් කළ බවය. මෙහි කියැවෙන වැඩිමහලු සහෝදරයා වන්නේ නිගේරා්ධ සාමණේරයන්ගේ පියා වූ 'සුමන' කුමාරයා බව මහාවංස ටීකාව පවසයි. එහෙත් දිව්‍යාවදානයෙහි සඳහන්ව ඇත්තේ සිංහාසනය සඳහා සටහනක් සිදුවූයේ අශෝක කුමරු හා ඔහුගේ වැඩිමහලු සොහොයුරු 'සුසීම' අතර බවය. මෙය තහවුරු කර ගන්නට පාලි වංසකතාද උපයෝගී වේ. පාලි වංසකතාවල කියැවෙන 'සුමන'ත් දිව්‍යාවදානයෙහි එන 'සුසීම'ත් එකම තැනැත්තකු බවටත් පිළිගත හැකිය. ඉනුත් 'සුසීම' නාමය භාරතයේ විශ්වාස කරන චරිතයද වේ.
අශෝකාවධානයෙහි සඳහන් වන්නේ අශෝකයන් මුල් රාජ්‍ය කාලයේදී සැහැසි ක්‍රියාවන්හි යෙදෙමින් චණ්ඩ ජීවිතයක් ගත කළ බවය. එහෙත් වෙනත් කෘතීන්වල කියැවෙන්නේ එම චණ්ඩ වීමට හේතුව නම් ඔහු කුමාර කාලයේ අත්විඳි ගැහැට හා එම ගැහැට පැමිණ වූ රාජ්‍යයන් හා පුද්ගලයන් නිසා වූවක් බවය. ඔහු රටට එරෙහි සතුරන් පන්නාගොස් වැනසූ බවත් තම රටවැසියනට දුක් ගැහැට නොදුන් බවත්ය. කාලිංග යුද්ධය එවැන්නකි. එය රජුගේ අභිෂේකයෙන් පසු අට වැනි වසරේදී සිදුව තිබේ. එය රජුගේ 13 වැනි ගිරි ලිපියෙහි පැහැදිලිව දැක්වේ. රජු මගධයේ පාලකයා බවට පත්වීමෙන් පසු 13 වැනි වසරේදී කාලිංග යුද්ධය සිදුවූ බවත් ඉතිහාසඥයෝ පෙන්වා දෙති. එය අශෝක රජුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යක් සනිටුහන් කරන්නක්ම විය. යුද්ධයෙන් අතිවිශාල මනුෂ්‍යයන් හා දේපළ රාශියක් විනාශ වූ අතර එය රජුට මහත් කනස්සල්ලක් ඇති කරන්නක් විය. එය කෙතරම් පසුතැවිල්ලක්ද යන්න ඔහුගේ ගිරි ලිපියක මෙසේ සටහන්ව ඇත්තේය.
'දෙවැනිපිය පියදස් රජු විසින් ඔටුනු පලන් අට වැනි අවුරුදුයෙහි කලිඟු රට දිනා ගන්නා ලදී. ගණනින් එක්ලක්ෂ පනස් දහසක් දෙනා එහිලා සිරකරුවන් ලෙස ගෙන යන ලදහ. ලක්ෂයක් පමණ දෙනා එහිදී මරණ ලදහ. එපමණම මහත් ගණනක් මියගියහ. එතැන් පටන් අලුතින් දිනාගත් කලිඟු රට පිළිබඳව දෙවැනිපිය පියදසුන් තුළ පවතින්නේ දැහැමි හැඟුමකි. නොදිනූ රටක් දිනීමේදී සැබැවින්ම ඇතිවන මිනීමැරුම් හෝ මියයෑම් හෝ බලයෙන් පැහැරගෙන යෑම් හෝ දරුණු දුක් උපදවන බවත්, බැරෑරුම් බවත් දෙවැනිපිය පියදසුන්ගේ හැඟුමයි. එහෙත් මේ හැමටත් වඩා බරපතළ ලෙස දෙවැනිපියයන්ට හැඟුණු දෑ මේයි. එහි විසූ අයට හෝ බමුණන්ට හෝ පිදිය යුත්තන් පිදූවනට හෝ මවුපිය වතාවතෙහි යෙදෙන්නවුනට හෝ වැඩිහිටියන් සඟන්නවුනට හෝ මිතුරන්, හිතවතුන්, කුලුපගයන්, නෑයන්, දැසි දැස්සන් යන මොවුනට සුදුසු සත්කාර කරන්නවුනට හෝ එහිදී ඇති වූ පීඩාවක් හෝ වධ හිංසාවක් හෝ ප්‍රිය විප්‍රයෝගයක් හෝ ඇති වී නම් එයයි. මින්මතු කිසි කලෙක නැවත දිග් විජයෙහි නොයෙදෙන්නට මේ නිසා ඉටා ගත් අශෝක රජු මගෙන් ඇතිවන කිසි දරු කෙනෙක් මුනුපුරු කෙනෙක් හෝ වෙත්ද ඔහු තවත් අලුත් දිග්විජයක් නොපවත්වා. ඉදින් ඔහුනට විජග්‍රහණයක් වුවමනා නම් ඉවසීමෙන් ලුහුඬු දඬුවමෙහිත් යෙදෙත්වා. ධර්ම විජයම සැබෑ ජය සේ සලකත්වා."
මහා විනාශයකින් අනතුරුව රජකුගේ පසුතැවිල්ල, හදගැස්ම මින් හඳුනාගත හැකිය. ඇතැම්විට රජු ධාර්මික චිත්තාවෙහි පරිවර්තනය වූ පසු වූ සිතිවිලි විය හැකිය. කෙසේ වෙතත් අශෝක රජු බුදුසමය වැලඳ ගැනීමේ මුල් සිදුවීමත් අපූරුය. ඔහු තැවුණු සිතින් පසුවෙද්දී නිගේරා්ධ සාමණේරයන්ගේ ශාන්ත ගමන දැක, ඔහු හා කතා බස්කොට සිත නිවාගත්තේය.
ලංකාවේ වංසකතාවලින් මෙසේ සිතන්නට එළියක් වැටෙන්නේය. එපමණක් නොව මේ නිගේරා්ධ සාමණේරයන් කවුරුන්ද? ඒ අශෝක අතින් මරණයට පත්වන සුසීම නම් වැඩිමහල් සොයුරාගේ පුත්‍රයාය. ඇතැම් විට මේ සියල්ලම අශෝකයන්ට තැන්පත් මනසක් උදාකර දෙන්නට හේතු වූවා විය හැකිය.
අශෝක අධිරාජ්‍යයකු බවට පත්වන්නේ තමන් අත්විඳි කටුක යථාර්ථයන් හරහාය යන්න ඔහු පිළිබඳව ලියැවුණු පර්යේෂණ _ කෘති කිහිපයම දැක්වේ. ආචාර්ය භණ්ඩර්කර් පෙන්වා දෙන ආකාරයට රජුට හිමි අධිරාජ්‍යයේ ප්‍රදේශද හැඳිනගත හැකිව ඇත්තේ සෙල් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි හරහාය. ඒ අනුව අශෝක අධිරාජ්‍යයා බටහිරින් සුනාපරන්තය, සුරාෂ්ට්‍රය, බටහිර අවන්තිය යන ප්‍රදේශ ඇතුළුව අරාබි මුහුදේ බටහිර වෙරළ දක්වාද ගිනිකොනින් කලිඟු රට (වත්මන් ඔරිස්සාව) ඇතුළුව බෙංගාලේ බටහිර වෙරළ දක්වාද, දකුණින් සුවර්ණගිරි පළාත ඇතුළුව කෘෂ්ණ, තුංගභද්‍ර යන ගංගා දෙක ඇසුරු කොට පවත්නා ප්‍රදේශ තෙක්ද වයඹ දිගින් උත්තරාපථය හෙවත් ගන්ධාරය ඇතුළුව පුරුෂපුරය (වත්මන් පෙෂවාර්) තෙක්ද උතුරින් හිමාලය තෙක්ද පැතිර පැවැති බව පෙනේ.
මේ අනුව කාවේරි නදියෙන් දකුණේ වූ සුළු භූමි ප්‍රමාණයක් හැර මුළු භාරතයම අශෝක රජුට යටත්ව පැවැති බව සැලකිය හැකිය.
එපමණක් නොව චන්ද්‍රගුප්ත රජුගේ කාලයේදී 'සෙලියුකස් නිකේටර්' නම් ග්‍රීක රජු විසින් පවරාදෙන ලද වත්මන් ඇෆ්ගනිස්තානයේ දකුණු දිග කොටස හා බලුකිස්තානය වුවද මේ කාලයේදීද මෞර්ය අධිරාජ්‍ය සතුව පැවැති බවට සැකයක් නැත. කාශ්මීරය අශෝක රජුට යටත්ව පැවැති බවද එහි 'ශ්‍රී නගර්' නමින් නගරයක් ගොඩනැඟුවේ අශෝක රජු බවට කල්හානයේ 'රාජතරංගනිය' සඳහන් කරන දේද බැහැර කළ නොහැකිය. හියුං ත්සාං නම් චීන භික්ෂුවගේ දේශාටන වාර්තාවේ දැක්වෙන අශෝක කරවූ ස්තූප හතරක සාක්ෂියක්ද හමුවෙයි. තාරානාථගේ් ප්‍රකාශයක සඳහන් වන්නේ අශෝක යුව රජකු සමයේ නේපාලයේ ඇති වූ කැරැල්ලක් මැඬපවත්වන්නට ගිය බවය.
ලුම්බිණියෙහි හා නිගාලිසාගර්හි ටැම් ලිපි දෙකක් පිහිටු වූ අශෝක රජු තම අභිෂේකයෙන් විසි වැනි වසරේදී බුද්ධෝත්පත්තිය සිදුවූ ලුම්බිණිය වෙත ධර්මයාත්‍රා කොට එහි චෛත්‍යයක් කරවා එම ග්‍රාමය අය බදුවලින් නිදහස් කළ අතර එහි බුදුන් උපන් බව සඳහන් කරමින් සෙල්ටැඹක් පිහිටුවා තිබීමෙන් නේපාලයද අශෝක අධිරාජ්‍යයට නතු වී තිබුණු බවට සනාථ වේ.
අශෝක රජුගේ සුවිසාල අධිරාජ්‍යයෙහි අගනුවර වී ඇත්තේ පාටලීපුත්‍රයයි. එය අද පැට්නා නගරය ලෙස ගැනෙයි. ග්‍රීකයන් 'පාලිබෝත්‍ර' ලෙස හැඳින්වූ මෙම නගරය පාලි සාහිත්‍ය කෘතිවල පාටලීගාම, කුසුමපුර, පුෂ්පපුර ලෙස නම් කොට ඇත. රජුගේ මාලිගාවේ නටබුන් වත්මන් පැට්නා නගරයට නුදුරු ස්ථානයකින් හමුවී ඇත. එහි ගිය දිනෙක ඔබටත් එය නැරැඹිය හැකිය.