චන්ද්‍රිකා එහෙම කිව්වේ නැතිනම්
මගේ ජීවිතය අදට වඩා වෙනස්
“කාටවත් නොකී රහසක්” තමයි ඔන්න මම අද කියන්න යන්නේ. හැබැයි මේක මගේ සංගීත ජීවිතේට සම්බන්ධ කතාවක්.”
“පුංචිම කාලේ ඉඳන් මම සංගීතයට ගොඩක් ආශයි. යාළු මිත්‍රයෝ එකතු වුණු හැම වෙලාවකම මම තමයි ගීත ගායනා කරන්නේ. ළමා වියෙන් තාරුණ්‍යයට ඇවිත් හඬ වෙනස් වුණාට පස්සේ මම ගොඩක් වෙලාවට ගායනා කළේ අමරදේව මහතාගේ “පාවෙනා නිල් වලාවේ” වැනි ගීත. හැබැයි ඒ අතරේ මට ටිකක් සුවිශේෂී හැකියාවක් තිබුණා. ඒ තමයි කාන්තා හඩින් චන්ද්‍රිකා සිරිවර්ධනගේ ගීත ගායනා කිරීමේ හැකියාව. ඒ දවස්වල චන්ද්‍රිකා අක්කාගේ “මිදුලේ මල් සූරිය ගහ මුදුනේ” කියන ගීතය ගොඩක් ජනප්‍රියයි. යාළු මිත්‍රයෝ එකතු වුණාම මම ඔය ගීතය ගායනා කරනවාමයි.
මගේ ගම මාතලේ. මම කොළඹ ඇවිත් රන්‍පොකුණුගම තමයි මුලින්ම නතර වුණේ. ඊට පස්සේ තමයි ඡායාරූප ශිල්පයට යොමුවුණේ.
මට තිබුණු හැකියාවන් මා වටා සිටි හැමදෙනාම දැන සිටියා. ඔය අතරේ දවසක් මගේ යාළුවෝ කට්ටියක් වෑන් එකක යද්දී චන්ද්‍රිකා අක්කත් එයාගේ වාහනේ පදවගෙන යනවාලු. කට්ට්ය චන්ද්‍රිකා අක්කට අතවනලා. චන්ද්‍රිකා අක්කත් ඒ අයට අත වනලා. “අපිට ඔයාගේ යාළුවා හම්බවුණා” කියලා යාළුවෝ ඇවිත් මට කිව්වා. ඒ වෙද්දී මම චන්ද්‍රිකා අක්කත් එක්ක කතාකරලවත් තිබුණේ නැහැ. ඒත් මම ඇගේ ගී ගයන බව ප්‍රචලිත වෙලා තිබුණු හින්දයි එහෙම කිව්වේ.
ඡායාරූප ශිල්පියෙක් බවට පත්වීමත් එක්ක මම කලාකරුවෝ හුඟ දෙනෙක් හඳුනා ගත්තා. දවසක් චන්න පෙරේරාගේ ගෙදර පැවැති උත්සවයක මම ගී ගැයුවා. එදා මම ගැයුවේ අමරදේව මහතාගේ ගීත. ඔය වෙලාවේ මට චන්ද්‍රිකා අක්කාගේ ගීතයක් ගයන්න කියලා හැමෝම ඉල්ලා හිටියා. ඒ නිසාම මමත් චන්ද්‍රිකා අක්කගේ ගීතයක් ගැයුවා. ගීතය අහලා හැමෝම සුබ පැතුවා. කැමරාව කරේ එල්ලගෙන ඉන්නේ නැතුව ගී ගයන්න එන්න කියලා ප්‍රියන්ත රත්නායක කිව්වා. ඕං ඔය විදියට ටික ටික මම සංගීතය පැත්තටත් යොමු වුණා.
චන්ද්‍රිකා අක්කගේ දුව කැලුම් විජේසූරියගේ හොඳ මිතුරියක්. ඒ හරහා මම ගැන ආරංචිය චන්ද්‍රිකා අක්කට අහන්න ලැබිලා. දවසක් ඡායාරූප ශිල්පය සම්බන්ධ දේකට චන්ද්‍රිකා අක්කා මාව හොයාගෙන ආවා.
“මම වගේ, මගේ කටහඩින් සිංදු කියනවා කියලා ආරංචියි. දැන් ඉතින් මමත් ඉන්නවනේ.... කියනවකෝ බලන්න..” චන්ද්‍රිකා අක්කා මට කිව්වා.
“පායන්නට එපා ඉරේ - පායන්නට එපා සඳේ...
සඳ නැතුවට ඉර නැතුවට - මට අඳුරත් නෑ...”
මම එදා චන්ද්‍රිකා අක්කගේ හඬන් ගැයුවා.
“දැන් ඒ පද දෙක ඔයාගේ හඩින් කියන්න..”
චන්ද්‍රිකා අක්කා මට කිව්වා. ඊට පස්සේ මම ඒ පදදෙක මගේ හඩින් ගැයුවා. “ඔයාට තියන්නේ සුනිල් එදිරිසිංහගේ හඬ වගේ හඬක්. ඒ වගේ හඬක් තියාගෙන මොනාද මේ කරන්නේ ... ඔහොම කළොත් නම් හරියන්නේ නෑ..”
චන්ද්‍රිකා අක්කා කිව්වේ කෝපයෙන් නෙවෙයි. අවවාදාත්මක ස්වරයෙන්, හරිම කාරුණික විදියටයි. ඒ මොහොතේම මම චන්ද්‍රිකා අක්කාගේ ගීත ගායනා කරන එක නතර කළා. සභාවක් මැදදී ඉල්ලා සිටියත් මම ආයේ චන්ද්‍රිකා අක්කාගේ ගීත ගායනා කළේ නැහැ. හැබැයි මම මගේ හඬ, මගේ ගායනය දියුණු කරගන්න වෙහෙසුණා. ඊට පස්සේ තමයි මම “වැටෙන් එහා මල් පඳුරේ” කියන ගීතය ගැයුවේ. ඒ ඇරඹුම තමයි අද මාව මෙතැනට ගෙනාවේ.
අදටත් මගේ පරණ යාළුවෝ හමුවුණාම චන්ද්‍රිකා අක්කාගේ ගීතයක කොටසක් හෝ ගයන්න කියලා ඉල්ලනවා. හැබැයි දැන් නම් මම ඒ ඉල්ලීම ඉටු කරන්නේ නැහැ.
ආරියවංශ කුලතිලක