බස්‌රියට ගොඩ වූ ත්‍රස්‌තයෝ එම බස්‌රිය අරන්තලාව වනයට ගෙන යන ලෙස නියෝග කිරීමෙන් පසු එම භික්‌ෂූන් පිරිස කඩුවලින් කපා දමමින් වෙඩි තබා මිලෙච්ජ ලෙස ඝාතනය කරනු ලැබිණ. ඝාතනය වූ භික්ෂූන් වහන්සේලා අතර විද්‍යානන්ද පිරිවෙනේ අධිපති හෑගොඩ ඉන්ද්‍රසාර හිමියන්ද විය. මෙහිදී භික්‌ෂූන් වහන්සේලා තිදෙනෙකු දිවි ගලවා ගැනීමට සමත් වූහ. එහෙත් ඔවුන් බරපතළ තුවාල ලබා තිබිණි.
මේ බිහිසුණු සමූල ඝාතනය සිදුවන අවස්‌ථාවේ ජනාධිපති වූයේ ඡේ. ආර්. ජයවර්ධනය. ආරක්‍ෂක ලේකම් සේපාල ආටිගල විය. සිද්ධි සැලවූ වහාම රජය විසින් රාජ්‍ය නිලධාරියෙක්‌ව අම්පාර වෙත ගුවන් මගින් එවනු ලැබීය.
අම්පාර රෝහලේදී දැන ගැනීමට හැකි වූයේ බිහිසුණු දර්ශනයකි. ඒ කහ සිවුරු රුධිරයෙන් තෙත් වී තිබීමය.
අරන්තලාව භික්‌ෂු ඝාතනයට නියෝග කළේ ප්‍රභාකරන් බව සනාථ විය.
ඔහුට අවශ්‍ය වූයේ 1983 කළුජූලිය මෙන් තත්ත්වයක් යළි ඇති කිරීමයි.
අරන්තලාව භික්‌ෂු ඝාතනය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න කීපයක් මතු විය. ඒ බෞද්ධ භික්‌ෂූන් වහන්සේලාට විශේෂ කාර්ය බළකායේ ආරක්‍ෂාව නොදී තිබීමත්, සමූල ඝාතනය සිද්ධියෙන් පසු කොටි ත්‍රස්‌තයන් හඹා යැමට කටයුතු නොකිරීමත්ය.
මේ ඝාතනය සිදු කළේ නැගෙනහිර කොටි හමුදා කණ්‌ඩායම් භාරව සිටි කරුණා, රමේෂ්, නගුලන් ඇතුළු කොටි හමුදා නායකයන් බවට තහවුරු වූයේ නැත. එදා මේ බිහිසුණු ඝාතනය ගැන ජාත්‍යන්තර ප්‍රජාව තැකීමක් කළේ නැත.
ප්‍රභාකරන්ට එරෙහිව යුද අපරාධ චෝදනා පවා ඉදිරිපත් කිරීමට බටහිර රටවල් ක්‍රියා කළේ නැත.
ඒ වෙනුවට සමුල ඝාතනය හෙලා දැකීමක් පමණක් සිදු විය. 1987 ජුනි 2 දා උදේ 7 ට අම්පාර සිට මෙම බස්‌රිය ධාවනය වන බව කොටි චරපුරුෂයකු විසින් මගරැක සිට කොටි කණ්‌ඩායමට දන්වා ඇතැයි හෙළි විය.
කොටින්ගේ පණිවුඩ හුවමාරුවලට සවන් දුන් යුද හමුදාවට නැගෙනහිර සිට වන්නියට විකාශනය වූ පණිවුඩයක් හසුකර ගැනීමට හැකි විය.
එම පණිවුඩයෙන් කියවූයේ වැඩේ අවසන් කළා යනුවෙනි. අරන්තලාව භික්‌ෂු ඝාතනය සිදුවීමට සිව් දිනකට පෙර අරන්තලාවට කිලෝ මීටර් හතරක් ඈතින් පිහිටි දිවුල්දමන ගම්මානයට මෝටර් ප්‍රහාරයක් එල්ල කළ කොටි ගම්වාසීන් සිව් දෙනෙක් මරා දැමූහ.
ඉන් තහවුරු වූයේ කොටි සිවිල් වැසියන් ඉලක්‌ක කරන බවයි. එහෙත් එදා රජය මායිම් ගම්මානවල සිටි ජනතාව රැකීමට නිති පියවරක් ගත්තේ නැත.
අද අරන්තලාව ඝාතනයේ 31 වැනි සංවත්සරයේ ද්‍රවිඩ සංවිධානය සහ රාජ්‍ය නොවන සංවිධාන වන්නි මෙහෙයුමෙන් මියගිය සහ අතුරුදන් වූ බව කියන ද්‍රවිඩ සිවිල් වැසියන් වෙනුවෙන් යුක්‌තිය ඉල්ලා සිටිති. එහෙත් අරන්තලාව සමූල ඝාතනයේ මූලිකත්වය ගත් කොටි හමුදා නායකයන් තවමත් වැජබෙති.
ඉන් ප්‍රධාන චෝදනාව එල්ල වන්නේ නැගෙනහිර හමුදා නායකයාව සිටි විනයාගමූර්ති කරුණා අම්මාන්ටය. එහෙත් එහු එම චෝදනාව ප්‍රතික්‍ෂේප කරයි.
මෙයට වසර 31 කට පෙර මෙරට සිදු වූ එම බිහිසුණු අපරාධය අද බොහෝ දෙනකුට අමතක වී ඇතත් අපව අමතක නැත.
මේ සම්බන්ධයෙන් රියර් අද්මිරාල් සරත් වීරසේකර ලියූ කවි පෙළක් සහිත ස්‌මාරකයක් අරන්තලාවේ පිහිටුවා ඇත. එහි එක් කවියක මෙලෙස සඳහන් වී තිබේ.
"රුද්‍ර සතුරන් එලා දමා සිරුර මතින් අප එන්නම්
සුදු කුසුමක් නෙලා ඔබේ සොහොන් පිටිය සරසන්නම්
මතු භවයක අප අතරම ඉපදුනහොත් දිවුරන්නම්
දිවි නොතකා ගිය ඔබ සැම පණමෙන් රැක ගන්නම්''
එදා අමු අමුවේ කඩු පහරවල්වලට ලක් වූ කුඩා සාමනේර හිමිවරුන් නැගූ මරහඬ අමතක කළ නොහැක. ඔවුන්ගේ සිරුර නැවී ගලාගිය රුධිර ධාරාවන් තුළින් කොටි සංවිධානය නමැති බිහිසුණු අපරාධකාරී සංවිධානයේ භීෂණය හෙළි විය. මේ පුංචි සාමනේරවරුන් මැරුවේ අද අපේ දේශපාලනයකු මහත්තයා යෑයි හඳුන්වන ප්‍රභාකරන්ය.
ඝාතනයට ලක් වූ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ස්‌මාරකයක් ඉදිකර ඇති අතර සෑම වසරකම ජනතාව ඊට ප්‍රණාමය දක්‌වති.
2013 වසරේදී එම භික්‌ෂූන් වහන්සේලා ඝාතනය වූ බස්‌රිය භාවිත කර අනුස්‌මරණ කටුගෙයක් ස්‌ථාපිත කරනු ලැබීය. ඉන් මිලෙච්ඡ ඝාතනය පිළිබිඹු කරයි. එදා 1987 ජුනි 2 දා සිදු වූ එම කෲර ඝාතනයෙන් වසර 22 කට පසු කොටි සංවිධානය සඳහටම සමූල ඝාතනය වේ යෑයි කිසිවකුත් සිතුවේ නැත.
එහෙත් ප්‍රභාකරන් ඇතුළු කොටි ඝාතකයන්ට දිට්‌ට ධම්ම වේදනීය කර්මය පඩිසන් දුන්නේය. ප්‍රංශ ගත්කරු ඇලෙක්‌සන්ඩර් බූටා වරක් පැවසූවේ අපරාධකරුවන් වසර ගණනාවක් ගියත් ගැලවෙන්නේ නැති බවයි. අපරාධය ඔවුන් පසුපස හඹාඑනු නියත යෑයි ඔහු කීවේය. මේ ඝාතනයේ එක් අපරාධකරුවකු වූ රමේෂ් අද ජීවතුන් අතර නැත. එහෙත් රමේෂ්ගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රීයාකාරීහු හඬ නගති.
කීර්ති වර්ණකුලසූරිය