ගුවන් නියමුවරියෝ හතරදෙනෙත්
ඉංග්‍රිසි පාලකයන් මෙරට පාලනය කරන සමයේ ආරම්භ කළ රාජකීය ගුවන් හමුදාව හෙවත් රෝයල් එයා ෆෝස් (Royal Air Force) මෙරට මෙතෙක් සිදුකළ මෙහෙවර අමිලය. එහි අගය ශ්‍රී ලාංකීය ජනතාව මැනවින් වටහාගත්තේ මෙරට දරුණු ත්‍රස්තවාදී යුද සමයේදී සහ ශ්‍රී ලංකාව තුළ වරින් වර ඇතිවූ විවිධ ස්වභාවික විපත් අවස්ථාවන්හි දී “ශ්‍රී ලංකා ගුවන් හමුදාව එහි ගුවන් නියමුවන් හා අනෙකුත් සෙසු නිලයන් ඇතුළු භටයන් ඉටුකළ මානුෂීය මෙහෙවරට දායක වීමත් සමඟය. එවන් රාජකීය ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලෙස ස්ථාපිත කර වසර 67ක් ඉදිරියට ගමන් කරමින් යන වකවානුව තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවන්ට ගුවන් නියමුවරියන් (විමෙන් ෆලයිට් Women Pilot) පුහුණු කිරීමේ අති භාරධූර කාර්යය භාරය ආරම්භ කරමින් “ලොව කාන්තා ගුවන් නියමුවරියන්” සිටින රටවල් අතරට ශ්‍රී ලංකා නාමය ද එකතු කර තිබේ.
මෙරට උගත් තරුණියන්ට සිරිලක ගුවන් ගැබ සිසාරා ගුවන් යානා පදවන්නට අවස්ථාව උදාකර දෙමින් රාජකීය මෙහෙවරක් ආරම්භ වූයේ වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල වීදිය බණ්ඩාර ජයම්පති මහතාගේ උදාර සංකල්පය හේතුවෙනි.
ශ්‍රී ලංකාවේ පළාත් හතරකින් තේරුණු වන යෞවනියන් සිවුදෙනකු මෙරට කාන්තා පරපුරට අභිමානයක් ගෙන දෙමින් ඉතා නුදුරේ දී ශ්‍රී ලාංකීය ගුවන් ගැබ සිසාරා ගුවන් යානා පදවන නියමුවරියන් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වනුයේ ත්‍රිකුණාමලයේ එන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨ පරිශ්‍රයේ පිහිටා ඇති අංක 01 පියාසර පුහුණු පක්ෂාංග ඒකකය තුළිනි.
එම නවක ආධුනික ගුවන් නියමුවරියන් වන්නේ මධ්‍යම පළාත් නියෝජනය කරමින් මහනුවර ශ්‍රී පුෂ්පදාන බාලිකා විදුහලෙන් බිහිවූ පවිත්‍රා ලක්ෂානි ගුණරත්න (අවුරුදු 22) දකුණු පළාත නියෝජනය කරමින්, මාතර කඹුරුපිටියේ ජයනී හේවාපතිරණ (අවුරුදු 21) (මාතර සුජාතා බාලිකා විදුහලේ ආදී සිසුවිය), බස්නාහිර පළාත නියෝජනය කරමින් රංගනා තත්සරණී වීරවර්ධන වේයන්ගොඩ මුද්දරගම (අවුරුදු 20) සහ කොටුගොඩ ඒකල පදිංචි පියුමි නිමල්කී ජයරත්න (අවුරුදු 21) මෙනවියන්ය.
ගුවන් නියමුවරියන් ලෙස පුහුණුව ලබාගැනීමට පෞද්ගලික ගුවන් පාසලක විදේශීය රටක අධ්‍යාපනය ලබා ගැනීමට රුපියල් ගණනාවක මුදලක් වැය කළ යුතු නමුදු අපේම රටේ අපේ දියණියන්ට ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළින් නොමිලේම ගුවන් නියමුවරියක ලෙස පුහුණු වීම ලබා අවසානයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව හරහා තම මව්බිමට සේවය කිරීමට අවස්ථාව උදාවී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන යන මහත්වරුන්ගේ මගපෙන්වීම හා උපදේශකත්වය සහ වත්මන් ගුවන් හමුදාපති කපිල වීදියබණ්ඩාර ජයම්පති මහතා ලබාදුන් දායකත්වය නිසාය.
ගුවන් නියමුවරියන් ලෙස පුහුණුවීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයදුම් පත්‍ර ඉදිරිපත් කළ 46 දෙනකු අතරින් “සම්මුඛ පරීක්ෂණවලින් තේරී ඉදිරි වසර දෙක ඇතුළත ස්ථීරව ගුවන් නියමුවරියන් ලෙස ගුවන් හමුදාවට එක්වන්නට වාසනා මහිමය හිමිකරගත්තේ දිවයිනේ පළාත් තුනක් නියෝජනය කළ උගත් තරුණියන් සිවුදෙනකු පමණක් වීමද විශේෂ තත්ත්වයක් විය.
චීන වරාය (ත්‍රිකුණාමලය) ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 01 පියාසර පුහුණු පක්ෂාංග මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී වින්ග් කොමාන්ඩර් පූජන ගුණතිලක මහතාගේ විශේෂ අධික්ෂණය යටතේ ස්කොඩ්රන් ලීඩර්, නිලධාරී අණදෙන මූලික පුහුණු ගයාන් බෝවත්ත මහතා ආධුනික ගුවන් නියමුවරියන් පුහුණු කරවීමේ කාර්යයභාරයේ නතර වී සිටී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන මෙරට ප්‍රථම ගුවන් හමුදා නියමුවරියන් සිවුදෙනා ලෙස නම් කළ හැකි මෙම නව යොවුන් තරුණියන් ලොවට කියාපානුයේ ලෝකයේ අනෙකුත් දියුණු රටවල කාන්තාවන්ට මෙන් තමන්ට ද ජීවිතයේ ඕනෑම අභියෝගයක් බාර ගනිමින් ඕනෑම කාර්යයක නිරත වීමේ ධෛර්යයක් ශක්තිය හා ආත්මශක්තිය ඇති බවයි.
මෙහිදී අදහස් දැක්වූ මාතර කඹුරුපිටියේ කහගල “චිත්‍රා” ලිපිනයේ පදිංචි ආධුනික පුහුණු ගුවන් නියමුවරියක් වන ජයනී හේවාපතිරණ.
“මම මාතර සුජාතා බාලිකා විදුහලෙන් අධ්‍යාපනය ලැබුවා. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට ඉදිරිපත් වී ගණිත අංශයෙන් සමත් වුණා. පාසලෙන් ඉවත් වී මම ප්‍රථමයෙන්ම ගුවන් හමුදාවේ ගුවන් නියමුවරියක් වීම සඳහා ඉල්ලුම් පත්‍ර යොමුකළා. සම්මුඛ පරීක්ෂණවලට ඉදිරිපත් වෙලා ගුවන් නියමුවරියක් වීම සඳහා මට පුහුණු වීමට අවස්ථාව උදාවුණා. ඒ ගැන මම සතුටු වෙනවා. 46 දෙනකු ඉන්ටවීව් එකට ඉදිරිපත් වුණා. එයින් 08 දෙනෙකු තේරැණා. ඒ අටදෙනාගෙනුත් හයදෙනයි තේරුණේ. ඒ හය දෙනා අතරින් හතර දෙනෙක් ගුවන් නියමු පුහුණුවට තේරැණා. ඉන්දියාව, පකිස්ථානය, ජපානය, චීනය වැනි බොහෝ විදේශීය රටවල කාන්තා ගුවන් නියමුවරියන් පත්වී ඉන්නවා. ඒ ඒ රටවල් ගුවන් නියමුවරියන් පුහුණු කරනවා. නමුත් ශ්‍රී ලංකාව පුංචි රටක් නිසා වෙන්න ඇති එහෙම තිබුණේ නෑ. වත්මන් ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා, ගුවන් හමුදාපතිතුමා අප වැනි තරුණියන්ට අවස්ථාව උදාකර දුන්නා. ඒ සම්බන්ධව එතුමන්ලා සැමට මගේ ගෞරව ප්‍රණාමය පුද කරනවා.
තව වසර දෙක තුනකින් පසු තනිවම ගුවන් යානාවක් ගුවන තුළ හසුරුවීමට මට හැකිවන බව මගේ විශ්වාෂයයි. ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උපදේශක නිලධාරින් අනෙකුත් උසස් නිලධාරින් පුහුණුව භාර නිලධාරින් ලබාදෙන සහාය ඉතා අගේ කොට සලකනවා.
රජය කාන්තාවන්ට ගුවන් හමුදාවට බඳවා ගෙන ගුවන් නියමුවරියන් ලෙස පුහුණු කරවමින් කාන්තාවන්ට නිසි තැන උගත්කම හා දැනුම අනුව ලබාදීමට පියවර ගැනීම ගැන මා සතුටු වනවා. ශ්‍රී ලංකික කාන්තාවන්ට ඕනෑම අභියෝගයක් බාර ගතහැකි ධෛර්ය හා ශක්තිය තිබෙන බව කාන්තා ගුවන් නියමුවරියන් බිහිකිරීම කටයුතු කිරීම තුළින්ම ඔප්පු වී තිබෙනවා. පුහුණු කටයුතු නිසි ලෙස නිමාකර ගුවන් නියමුවරියක් වී උපන් රටට සේවය කිරීම මගේ අරමුණයි.
මගේ පියා කේ.සී. පතිරණ ඔහු ව්‍යාපාරිකයෙක්, මව ඒ.ජී.ජී. මාලනී කඹුරුපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරියක් ලෙස සේවය කරනවා. මට එක් සොයුරියක් සිටිනවා. මගේ මව්පියන් ද දැඩි සතුටට පත්වුණා මම ගුවන් නියමුවරියක් ලෙස පුහුණු වීමට ගුවන් සේවයට එක්වීම ගැන.
තමන්ගේ උගත්කම දක්ෂතාවය හැකියාව හා අධිෂ්ඨානයටත් ඕනෑම රැකියාවකින් ඉහළ යන්නට අපේ තරුණියන්ට හැකියි. දකුණු පළාතට ගෞරවයක් අත්කර දෙමින් මම දකුණු පළාතෙන් ගුවන් නියමු පුහුණුවට තේරැණු ප්‍රථමයා වීම ගැන සතුටු වෙනවා.
මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ජීව විද්‍යා අංශයෙන් සමත් වූ අම්පිටියේ පදිංචි පවිත්‍රා ලක්ෂානි ගුණරත්න අවුරුදු (22) ආධුනික ගුවන් නියමුවරිය අප හා අදහස් ද දක්වමින්.
පුංචි කාලේ ඉඳලම ආශාවක් තිබුණා පයිලට් කෙනෙක් වෙන්න. ඒ ආශාව ඉෂ්ඨ කරගන්න ලැබේවි කියා මා විශ්වාස කරනවා. ගුවන් හමුදාවට නියමුවරියක් බඳවා ගන්න ඉල්ලුම් පත්‍ර කැඳවා තිබුණා. මම ඒ සඳහා ඉල්ලුම් පත්‍ර යොමු කළා. සම්මුඛ පරික්ෂණවලින් පසුව මාව පුහුණුව සඳහා තෝරා ගත්තා.
වත්මන් ගුවන් හමුදාපතිතුමාගේ සංකල්පයක් මත ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ අප වැනි තරුණියන්ට ගුවන් හමුදාවේ ගුවන් නියමුවරියන් වීමේ අවස්ථාව උදාවුණා. එය ඉතා විරලයි. ගුවන් හමුදාපතිතුමා තමයි අපව ඉන්ටවීව් කළේ. අපේ රටේ තරුණියන්ට ගුවන් හමුදාවට බැඳී රටට සේවය කිරීමට අවස්ථාව ලබාදීම ගැන මම ගුවන් හමුදාපති ඇතුළු ගුවන් හමුදාවේ උසස් නිලධාරීන්ටත් රජයටත් ස්තුතිය පුදකරනවා.
කාන්තාවන් අද ලොව සෑම ක්ෂේත්‍රයකම ඉහළ තැන්වල විවිධ ක්ෂේත්‍රයේ රැකියා කරනවා. සෑම කාන්තාවකටම තමන්ගේ දක්ෂතා අනුව නිසි ස්ථානය හිමිවනවා නම් ඔවුන් මේ රටට උපරිම සේවාවක් ඉටුකරාවි.
ගුවන් නියමුවරියක්, නියමුවෙක් වෙන්න රුපියල් කෝටි ගණනක මුදලක් වැය කරන්න වෙනවා. අද රජය ගුවන් හමුදාව ඒ තරම් මුදලක් වියදම් කරමින් අපට ගුවන් නියමුවරියක් වීම සඳහා අවශ්‍ය නිසි පුහුණුව උපදේශනය ගුවන් හමුදාව හරහා ලබාදෙනවා. මම සතුටු වෙනවා මහනුවර හිල්වුඩ් බාලිකා විදුහලෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා පුෂ්පදාන බාලිකා විදුහලට ඇතුළත්වෙලා උසස් පෙළ සමත් වෙලා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයට එක්ව රටට සේවයක් කිරීමට අවස්ථාවක් ලැබීම ගැන.
මගේ මව්පියන් වන අනුර ගුණරත්න, ප්‍රදීපා දසනායක දෙපළත් මගේ එකම නංගිත් බලාපොරොත්තු වන කාන්තා ගුවන් නියමුවරියන් වීමේ අවස්ථාව මම උදාකර ගන්නවාමයි.
වේයන්ගොඩ මුද්දරගම පදිංචි රංගනා තත්සරණි වීරවර්ධන (අවුරුදු 20) මෙනවිය අපට හමුවූ තවත් ආධුනික ගුවන් නියමුවරියකි. ඇය අප හා මෙසේ පැවසුවාය.
මම ගම්පහ රත්නාවලී බාලිකා විදුහලෙන් ජීව විද්‍යා අංශයේ උසස් පෙළ සමත් මගේ පියා හරිස්චන්ද්‍ර වීරවර්ධන මහතා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙක්. මවත් ගුවන් හමුදාවේ සේවය කරලා විශ්‍රාම ලබා සිටිනවා. මගේ පවුලේ පසුබිමත් සමඟ පුංචි කාලේ ඉඳලම ගුවන් හමුදාවට බැඳෙන්න ආශාවක් ඇති වුණා. සහෝදරයකුත් සහෝදරියකුත් මට ඉන්නවා.
මම ගුවන් හමුදාවට බැඳුණේ ගුවන් නියමුවරියක් වීමේ අධිෂ්ඨානයෙන්මයි. ලොව අනෙකුත් රටවල කාන්තා ගුවන් නියමුවරියන් පුහුණු කරවනවා. ඔවුන් විශාල ගුවන් යානා පදවනවා. (විදේශ රටවල කාන්තාවන්ට හා තරුණියන්ට ඕනෑම අභියෝගයක් බාරගන්න පුළුවන් වගේම ශ්‍රී ලාංකීය තරුණියන්ටත්, කාන්තාවන්ටත් ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය තිබෙනවා. ඒ අභියෝග ජයගනිමින් නිසි පුහුණුවීම් කැපවීමෙන් කරමින් ගුවන් නියමුවරියක් වීම මගේ අධිෂ්ඨානයයි. ඒ අවස්ථාව අපට උදාකර දුන් ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් රජයටත් කාන්තා ගුවන් නියමුවරියන් හඳුන්වා දීමට ආරම්භයක් ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාපති කපිල වීදියබණ්ඩාර ජයම්පති මැතිඳුන්ටත් මම හිසනමා ප්‍රණාමය පුද කරනවා.)
ශ්‍රී ලංකාවේ පළමුවන කාන්තා ගුවන් නියමුවරියන්ගේ ඒකකයක් ආරම්භ කිරීමට මූලික වූ වත්මන් ගුවන් හමුදාපතිවරයාට ස්තුතිය පුද කර සිටි රංගනා තත්සරණි වීරවර්ධන මෙනවිය මෙරට උගත් තරුණියන්ට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ තනතුරු සඳහා අවස්ථාව තිබෙන බැවින් තම තරුණ ජීවිත කාලය තුළ රටට සේවය කිරීම සඳහා නොබියව ධෛර්ය සම්පන්නව ගුවන් හමුදා සේවයට එක්වන්නැයි ආරාධනා කළාය.
පියුමි නිමල්කී ජයරත්න මෙනවිය (අවුරුදු 21) ඒකල කොටුගොඩ
ඇයද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ආධුනික ගුවන් නියමුවරියකි. කොළඹ කොටහේන යහපත් එඩේරාගේ කන්‍යාරාමයෙන් සහ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති ඇය උසස් පෙළ විභාගය ජීව විද්‍යා අංශයෙන් සමත් වී සිටින්නීය.
අගේ පියා විශ්‍රාමික ගුවන් හමුදා බලලත් නිලධාරී මහින්ද ජයරත්න මහතා වන අතර මව කාන්ති ජයරත්න මහත්මියයි.
පාසල් අධ්‍යාපනය අවසන් කර ප්‍රථමයෙන්ම රැකියාවක් ලෙස ගුවන් හමුදාවේ නියමුවරියක් වීම අපේක්ෂාවෙන් ඉල්ලුම්පත්‍රයක් ඇය යොමු කළාය. කුඩා කල සිටම ගුවන් හමුදාවේ සේවයට එක්වීමේ අපේක්ෂාවෙන් සිටි අගේ පැතුමද ඉටුවිය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හමුදාපති කපිල වීදියබණ්ඩාර ජයම්පති මහතාගේ සංකල්පය නිසාම ගුවන් හමුදාවේ ප්‍රථම වරට බිහිවූ කාන්තා ගුවන් නියමු බල ඇණියට එක්වීමේ අවස්ථාව තමන්ට හිමිවූ බව පැවසූ ආධුනික ගුවන් නියමු පියුමි නිමල්කා ජයරත්න මෙනවිය ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ශ්‍රී ලාංකීය කතුන් ගුවන් යානා පදවමින් ශ්‍රී ලාංකීව අහස් තලයේ සැරිසරන දිනය නුදුරේදී ශ්‍රී ලාංකීය ජනතාවට දැකගන්නට ලැබෙණු ඇතැයි පැවසුවේ දැඩි අධිෂ්ඨානයකින් යුතුවය.
ශ්‍රී ලාංකික තරුණියන් ගුවන් නියමුවන් වීම කිසිදා සිදු නොවන්නක් යැයි ඇතැමුන් සිතුවද මෙරට ගුවන් හමුදාව ලොව අනෙකුත් කාන්තා ගුවන් නියමුවරියන් සමඟ ඉදිරි අනාගතයේ දී තරගකාරී ගුවන් යානා හැසිරවීමේ හැකියාව අති දක්ෂ ගුවන් නියමුවරියන් රටට දායා ද කරන්නට ගන්නා වූ මෙහෙවර ශ්‍රී ලාංකිකයන් ලෙස අපට ද ආඩම්බර වියහැකි කාරණාවක් වන්නේය.
දැනටමත් ආධුනික ගුවන් නියමුවරියන් 05 දෙනකු දියතලාව ගුවන් හමුදා යුද පුහුණු පාසලේ අවි ආයුධ සහ සටන් පුහුණුව (කම් බැට් - COMBAT) ලබමින් පසුවන බව චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරියෙක් පැවසීය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාන්තා බලඝනයට මෙරට ළඳුන් 2600ක් පමණ ඇතුළත් වන අතර ඔවුහු ගුවන් හමුදාවේ විවිධ අංශයන්හි විවිධ තනතුරු වෛද්‍ය, හෙදහෙදි, තාක්ෂණ සන්නිවේදන, ලිපිකරු, සෙබළ, නර්ථන, ගායන, වාදන, සූපවේදී, යුදබිම සටන් අංශ පරිගණක ක්ෂේත්‍රය යනාදී අංශවල දරමින් මෙරටට සේවය කරති.
ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල විදීයබණ්ඩාර ජයම්පති මහතා ගුවන් හමුදාවට ප්‍රථම වතාවට කාන්තාවන් ගුවන් නියමුවරියන් ලෙස බඳවා ගැනීම සම්බන්ධව අදහස් දැක්විය.
ලෝකයේ රටවල් රැසක ගුවන් නියමුවරියන් සේවය කරනවා. හමුදා අංශවල මෙන්ම පුද්ගලික ගුවන් සමාගම්වලත්. මගේ සංකල්පය වුණේ අපේ රටේ ගුවන් නියමුවරියන් පුහුණු කරවීමයි. ඒ සඳහා මට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන යන මැතිතුමන්ලාගේ මනා සහාය උපදෙස් මෙන්ම අවසරය ද ලැබුණා.
ශ්‍රී ලංකාවන් ලොව අනෙකුත් රටවල්වල මෙන් අපේම ලාංකීය ළඳුන් ගුවන් නියමුවරියන් ලෙස ජාත්‍යන්තරයට හඳුන්වා දීමට අපටත් අවස්ථාවක් ලැබුණා ඒ ගැන ඇත්තේ ආඩම්බරයක් මෙන්ම සතුටක්. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 67ක් පිරෙන අවස්ථාවේ. අපේ තරුණියන් කණ්ඩායමක් ගුවන් නියමුවරියන් ලෙස පුහුණු කරන්නට ගුවන් හමුදාවට බඳවා ගැනීමට ලැබීම ගුවන් හමුදාව ලැබූ සුවිශාල ජයග්‍රහණයක්.
ලොව අනෙකුත් දියුණු රටවල මෙන් ශ්‍රී ලංකාවෙත් අපේම ශ්‍රී ලාංකික ගුවන් නියමුවරියන් සිටිනවා කියා ශ්‍රී ලාංකික ජනතාවටත් සතුටු විය හැකියි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගෞරවයත් ශ්‍රී ලංකාවේ ගෞරවයත් ආරක්ෂා කරමින් ඉතා උසස් විනයගරුක ගුවන් නියමුවරියන් පිරිසක් රටට දායාද කිරීම තම අරමුණ බවද ගුවන් හමුදාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ජේ.ඒ.එල්. ජයසිංහ - දේශය