Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

නාන කාමරේ රහස සඟවා නික්ම ගිය ශ්‍රිදේවි
අනිල් අම්බානිගේ ජෙට් යානය
දවස් තුනක් ඩුබායි ගුවන් තොටුපොළේ


මේ අකුරු අමුණන විට ඈ අප හැරදමා බොහෝ දුර ගොසිනි. ඇය භෞතිකව විසුවේ, අපට වඩා සැතපුම් සිය ගණන් ඈතිනි. නමුත් දශක කිහිපයක් මුළුල්ලේ ඈ අප හදවතේ ජීවත් වූවාය. තම මතකයන් නැවත නැවතත් අලුත් කරමින් ඈ අප තුළ දිවි ගෙව්වාය. අපේ ජීවිතයට හුදෙක් වින්දනයක් පමණක් නොව, ආදරය, අනුරාගය, මව් සෙනෙහස, දිරිය ඇතුළු බොහෝ දෑ ගෙනා ඈ අසල්වැසි බොලිවුඩය බිහිකළ ප්‍රථම නිළි රැජන ද වූවාය. ශ්‍රී දේවී නම් ඈ අප හැර දමා ගියේ ඈ පිළිබඳ මේ ආදී මතකයන් රැසක් හදවත ගැඹුරේම තැන්පත් කරමිනි.

ඈ රිදී තිරයට ආවේ වයස යන්තම් වයස අවුරුදු හතර පිරෙද්දීය. ඒ 1967 වසරේදී තිරගත වූ කන්ධන් කරුණායි නම් දමිළ චිත්‍රපටයෙනි. ශිවාජි ගනේෂන් වැනි දමිළ සිනමාවේ පතාකයන් දායක වූ එම චිත්‍රපටයෙන් පසු නැවතත් කන්නඩ, මලයාලම් සිනමා පට කිහිපයකටම ළමා නිළියක ලෙස දායක වීමේ අවස්ථාව ශ්‍රී දේවිට ලැබිණ.

අනිල් අම්බානිගේ ජෙට් යානය දවස් තුනක් ඩුබායි ගුවන් තොටුපොළේ

ශ්‍රී දේවිගේ මුල් නම වූයේ, ශ්‍රී අම්මා යන්ගර් අයියප්පන් ය. ශ්‍රී දේවි නම් සිනමාව තුළ ජනප්‍රිය වූ ඈ බොනි කපූර් හා විවාහයෙන් පසු භාවිත කළ නම වූයේ, ශ්‍රී දේවි බොනී කපූර් අයියප්පන් යන නමයි. එහෙත් තම පවුලේ හිත මිතුරන් අතරේදී ඈ හැඳින්වීමට භාවිත කළ නම වූයේ පපී යන්නයි. තමිල්නාඩුවෙන් බොලිවුඩයට පා තැබූ ශ්‍රී දේවිය මුලදී ජනප්‍රිය වූයේ දක්ෂ නර්තන ශිල්පිනියක ලෙසිනි. විශේෂයෙන්ම හිම්මතවාලා, මාස්ටර් ජී සහ නාගිනා වැනි චිත්‍රපටවලදී ඇගේ නර්තන හැකියාව හොඳින් කැපී පෙනුණි. එහෙත් ඈට සිරැරේ හැඩය සහ රිද්මය සේම රංගනයේ හැකියාව ද ඇති බව ප්‍රේක්ෂකාගාරය වටහා ගත්තේ ඈ කමල් හසන් සමඟ රඟපෑ සද්මා චිත්‍රපටයෙනි. 

කෙසේ වෙතත් ශ්‍රී දේවිගේ රංගන දිවියේ තීරණාත්මක චිත්‍රපටයක් ලෙස නාගිනාට හිමිවන්නේ විශේෂ තැනකි. 1986දී තිරගත වූ එම සිනමා පටයේදී ඈ නිරූපණය කළේ මිනිස් වෙස්ගත හැකි හැපින්නකගේ චරිතයකි. ඔම්රිෂ් පූරි නම් වූ හින්දි සිනමාවේ සුප්‍රකට දුෂ්ඨ චරිතය හා ගැටුණු චරිත නිරූපණයක ඈ එහිදී නිරත වුණු අතර මේ තේරී දුෂ්මන් නම් හැපින්නකගේ විලාසයෙන් රඟන ගීතයට හිමිවුණු ප්‍රතිචාරය අති දැවැන්ත එකක් විය. නාගිනා යනු අද දක්වා හින්දි සිනමාව තුළ බිහිවූ දැවැන්තම හා නිර්මාණාත්මකම ෆැන්ටසි චිත්‍රපටයක් ලෙස ද සැලකේ.

ඇය ප්‍රධාන චරිතයක් තුළින් බොලිවුඩයට පා තැබුවේ 1979 වසරේදී ය. අඩි පහයි අඟල් පහක් උසැති ශ්‍රී දේවි තමන්ගේ සිරැරේ හැඩයේ තිබූ නිසි සමබරතාව නිසාවෙන්ම බොහෝ බොලිවුඩ් නළුවන්ගේ ප්‍රියම්බිකාවගේ චරිතයට සුදුසුම චරිතයක් වූවාය. මෙනිසා ලංකාවේ මෙන් ගාමිණී - මාලිනී හෝ විජය - මාලිනී හෝ සනත් - සබීතා හෝ යුගලයක් නමින් යන යුගයක් බිහිකරනවා වෙනුවට ශ්‍රී දේවි යුගයක් බිහිකරන්නට ඈ සමර්ථ වූවාය. 
1987 වසරේදී ඈ අනිල් කපූර් සමඟ මිස්ටර් ඉන්ඩියා නම් චිත්‍රපටයේ රහස් පරීක්ෂක චරිතයකට රංගනයෙන් දායක වූවාය. එහිදී චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ අනිල් කපූර් අබිභවා ශ්‍රි දේවි කෙතරම් ප්‍රබලව ඉස්මතු වූවාද කියතොත් එම චිත්‍රපටය සිනමා රසිකයින් අතර ජනප්‍රිය වූයේ මිස්ටර් ඉන්ඩියා නොව මිස් ඉන්ඩියා යන නමිනි. 

මේ ආකාරයට අසූව දශකයේදී තම නර්තන, රංගන හැකියාවන් හොඳින් පෙන්නුම් කළ ඈ අනූව දශකයට අවතීර්ණ වූයේ හින්දි සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් උපයන රංගන ශිල්පිනිය බවට පත්වෙමිනි. අවුරුදු 54ක තම ජීවිත කාලයෙන් අවුරුදු පනහක්, නැතහොත් අඩ සියවසක්ම රංගනයට කැප කළ ඈ මේ දක්වා රංගනයෙන් දායක වූ සමස්ත චිත්‍රපට සංඛ්‍යාව 254කට අධික ය. එම කාලය පුරාවට ජිතේන්ද්‍ර, ධර්මේන්ද්‍ර, අමිතාබ් බච්චන්, රාජේෂ් ඛන්නා, රිෂි කපූර්, සංජේ දත්, ආක්ෂේ කුමාර් වැනි නළුවන් රැසක් සමඟ ප්‍රේමවන්තියගේ චරිතයට ඈ පණ පෙව්වේ තම සුරෑපී මුහුණ සිරුර වඩ වඩාත් තාරැණ්‍යය කරා නැඹුරු කරගනිමින් වීම සිනමා ප්‍රේක්ෂකාගාරය විමතියට පත්කරමිනි. 

තමා ජනප්‍රියත්වයේ උපරිමයට ළංවෙමින් සිටින විට එනම් 1985 දී එවකට නැගී එමින් සිටි තවත් දක්ෂ බොලිවුඩ් නළුවෙකු වූ මිථුන් චක්‍රබෝති හා විවාහ වුවද එම සම්බන්ධය වසර තුනකදී බිඳ වැටිණි. 
1997 දී ජුදායි සිනමා පටයෙන් පසු ඈ වර්ෂ 2004 දක්වා තම සිනමා දිවියට යම් විරාමයක් තැබුවාය. 96දී බොනී කපූර් සමඟ සිදුවූ ඇගේ දෙවැනි විවාහය මේ රංගනයේ විරාමයට ප්‍රධාන හේතුව වූවාට සැක නැත. ඈ ජාන්වී සහ කුෂී නමින් දියණියන් දෙදෙනෙකුගේ මවකි. මේ අතුරින් තම මව තරම් නැතත් තවත් සුරූපිනියක වන ජාන්වී ද මේ වනවිටත් බොලිවුඩයට පා තබා තිබේ. මේ වනවිට බොලිවුඩයේ තවත් ජනප්‍රිය තාරකාවක් වන අර්ජුන් කපූර්ගේ කුඩම්මා වූයේත් ශ්‍රී දේවිය. එනම් අර්ජුන් යනු බොනී කපූර්ගේ පළමු විවාහයේ දරුවායි. 

ඉන්පසු 2004 පටන් වරින් වර සිනමා තිරයේදී දැකගත හැකිවූ ඇගේ රුව නැවතත් වැඩි ආකර්ෂණයකට ලක්වූයේ 2012දී තිරගතවූ ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ් චිත්‍රපටයෙනි. පෙම්වතියක ලෙස දිගු කාලයක් සිනමා රසිකයින් ඉදිරියට පැමිණි ශ්‍රී දේවි ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ් චිත්‍රපටයේ ශෂී චරිතය හරහා වැඩි ප්‍රේක්ෂක ආදරයක් මෙන්ම ගෞරවයක්ද හිමිකරගැනීමට සමත් වූවාය. 

තම සිනමා දිවිය තුළ බොලිවුඩයේ උසස්ම සම්මාන උළෙල වන ෆිල්ම් ෆෙයාර් සම්මාන පහක් දිනාගැනීමට ද සමත්වූ ඇය ඉන්දීය සිනමාව මේ ප්‍රගමනයට නිළියක ලෙසින් සංස්කෘතියට දැක්වූ දායකත්වය වෙනුවෙන් එරට සිවිල් පුරවැසියෙකුට පිරිනැමෙන ඉහළම සම්මාන හතරින් එකක් වන පද්ම ශ්‍රී සම්මානය පවා ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතා අතින් ලැබීමට තරම් වාසනාවන්තියක වූවාය. ඈ මේ සියලු සාර්ථකත්වයන් ළඟා කරගත්තේ වයස අවුරුදු 54ක් තරම් ඉතාමත් කෙටි කාලයකිනි. 

ඒ කෙසේ වුවද ඒ ඉන්දීය සිනමා රැජන තම ප්‍රේක්ෂකාගාරයෙන් සදහටම නික්ම ගොස් හමාරය. එහෙත් නැවත වතාවක් ඒ සුන්දර නා රැජනගේ රුව මේ වසර අගදී තිරගත වීමට නියමිත ශාරුක්, කත්‍රිනා සහ අනුෂ්කා රඟන සීරෝ සිනමා පටයේදී දැකගැනීමට ඉඩ ලැබෙනු ඇතැයිද වාර්තා වේ. දිවි ගමනින් නික්ම ගිය ඈ තවත් මාස කිහිපයකට පසු සීරෝ චිත්‍රපටයෙන් තම සිනමා දිවියෙන් ද සමුගනු ඇත. එහෙත් ඈ දැවී යන්නේ ද්විත්ව ශතකයකටත් අධික සිනමා මතකයන් තම නම ඉදිරියේ රැස් කරගත් අනභිභවනීය නිළියක ලෙසිනි. 

ශ්‍රීදේවියගේ අවසන් කටයුතු මුම්බායිවලදී සන්සුන් ලෙස සිදුවූවත් ඩුබායි හි ජුමේරා එමිරේට්ස් ටවර් හෝටලයේ දී සිදු වූ ඇයගේ මරණය ගැන සැකසංකා රුසක් පවතී. පවුලේ ඥාති තරුණයකුගේ මංගල උත්සවයකට සහභාගි වීම සඳහා සිය සැමියා වන චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර් සහ බාල දියණිය කුෂී සමඟ දින කිහිපයකට පෙර ශ්‍රීදේවි ඩුබායි වෙත පැමිණියාය. මංගල උත්සවයෙන් අනතුරැව බොනී කපූර් සහ දියණිය තම හිතවතකුගේ උපන් දින සාදයකට සහභාගි වීම සඳහා නැවත ඉන්දියාවට පැමිණියත් ශ්‍රීදේවි නතිවම ඩුබායි හෝටලයේ නැවතී සිටියේ ඇය විසින් පවත්වන්නට අදහස් කර තිබූ චිත්‍ර ප්‍රදර්ශනයක කටයුතු සඳහාය.

මෙම අනපේක්ෂිත සමුගැන්ම සිදුවූ ඉකුත් සෙනසුරාදා සන්ධ්‍යාවේ ශ්‍රීදේවි සිය හිතවතකු සමඟ මධු සාදයකට සහභාගි වූ බව සැලවිය. ඉන් අනතුරැව ඇය සුඛෝපභෝගී කාමරයට පැමිණ තිබිණි. එසේ පැමිණියේ ඇය සමඟ සාදයට සහභාගි වූ මිතුරා සමඟ ද නැද්ද යන්න අපැහැදිලි කරුණකි. කෙසේ වෙතත් පසුව අනාවරණය වූ කරැණු අනුව ශ්‍රීදේවියගේ සැමියා ඇයව පුදුමයට පත්කිරීමේ අරමුණින් නැවත ඩුබායි වෙත පැමිණි බවත් එසේ පැමිණ එදින සවස පහේ සිට මිනිත්තු 15 ක් පමණ ශ්‍රීදේවි සමඟ කතාබහ කරමින් සිට රාත්‍රී භෝජන සංග්‍රහයකට යාමට සූදානම් වන ලෙස දන්වා ඇති බවත් කියවිණි. බොනී කපූර් ඩුබායි පොලීසියට දී ඇති කටඋත්තරය අනුව ඇය අනතුරට මුහුණ දී ඇත්තේ ඊට සූදානම් වීම සඳහා නාන කාමරයට ගිය අවස්ථාවේදීය. ඇය නාන තටාකයේ (Bath Tub) මියගොස් සිටි බව මුලින්ම දුටුවේ තමා බවද බොනී කපූර් දුන් කටඋත්තරයේ සඳහන් විය. එයින් ගම්‍ය වන්නේ ශ්‍රීදේවියගේ මරණය සිදුවූයේ සවස 5.15 ආසන්නයේ බවය.

මෙම මරණය පිළිබඳව ලෝකයට පළමුව වාර්තා වූයේ ඇය හදිසි හෘදයාබාධයකින් නාන තටාකයේ වැටි මියගිය බවයි. නමුත් ඇගේ මරණය සම්බන්ධ මීට වඩා වෙනස් පරස්පර වාර්තා ගණනාවක් ජාත්‍යන්තර මාධ්‍ය විසින් මේ වෙද්දී හෙළිදරව් කර ඇත. එම මාධ්‍ය වාර්තා අනුව මියගිය ශ්‍රීදේවියගේ සිරුර මුලින්ම සොයාගෙන ඇත්තේ බොනී කපූර් නොව හෝටල් සේවකයන් බව කියැවිණි. එසේම වෛද්‍ය වාර්තාව තහවුරු කළේ මරණය සිදුවූ වේලාව රාත්‍රී 10 පසුවී විනාඩි 01 යැයි NDTV රූපවාහිනී සේවය වාර්තා කළේය. බොනී කපූර්ගේ සාක්ෂිය හා වෛද්‍ය වාර්තාව පරස්පර තත්ත්වයට පත්වන්නේ මෙතැනදීය. මේ පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය කළ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ මතය අනුව එරට අධිචෝදකවරයා සිය ට්විටර් ගිණුමෙහි සඳහන් කර ඇත්තේ සිහි නැතිවීමකින් පසු දියේ ගිලීමෙන් ඇගේ මරණය සිදුවූ බවයි. ඇගේ සිරුරේ ඇල්කොහොල් අන්තර්ගතව තිබූ බවද වෛද්‍ය වාර්තාවේ සඳහන් විය.

මෙම පරස්පර සාක්ෂි සහ නොගැලපෙන තොරතුරු නිසා ශ්‍රීදේවියගේ දේහය පැය 72කට වැඩි කාලයක් රෝහල් මෝචරියේ රඳවාගෙන විමර්ශන සිදුකෙරිණි. මේ අතර බොලිවුඩයේ කමල් හසන්, දීපිකා පදුකෝන්, ෂාරුක් ඛාන් වැනි සුපිරි නළු නිළියන් රැසක් ඩුබායි වෙත පැමිණියහ. ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි ද ඩුබායි හි ඉන්දියානු තානාපතිවරයා මාර්ගයෙන් මැදිහත්වීමක් සිදුකර තිබුණි. ඉන්දීය කෝටිපතියකු වූ අනිල් අම්බානිට අයත් පෞද්ගලික ජෙට් යානයක් දින තුනක් තිස්සේ ඩුබායි ගුවන් තොටුපොළේ රඳවා තිබුණේ ඇගේ දේහය නිදහස් කරන තෙක්ය. කෙසේ හෝ ගිය අඟහරැවාදා සවස පරීක්ෂණ ලිපිගොනු වසා දැමූ ඩුබායි රජය ශ්‍රීදේවිගේ දේහය ඥාතීන් වෙත බාරදුන්හ. දශක පහක් පුරා බොලිවුඩ් අහසින් බැස නොගිය ඒ සුදිලි තාරකාව අවසානයේ මොහොතක දෙකක කවර හෝ අතපසුවීමක් නිසා සැමගෙන් සමුගත්තේ මරණයේ හේතුව නිශ්චිත වුවත් මරණයේ පසුබිම කුකුසක් බවට පත්කර තබමිනි.

Text - Rajitha

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook