Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ගිටාරයක්‌ අතට ගත් පමණින්
සංගීතකාරයෙක්‌ වෙන්නේ නෑ 
- මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි

සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි ගයන ගීතාවලියක්‌ සජීවීව රසවිඳීමේ අවස්‌ථාව කලකට පසු උදාවේ. මේ ප්‍රසංගයේ විශේෂත්වයක්‌ ඇත. ඒ ප්‍රිය බිරිඳ මල්කාන්ති සහ ආදරණීය දියණිය අනුරාධා ද ඔහු හා එකම වේදිකාවක ගී ගැයීමය. සනත් නන්දසිරි 1974 දී සිය ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය "ස්‌වර්ණ කුණ්‌ඩල" ආරම්භ කළේය. එය ප්‍රසංග වාර දෙසිය පනහ ඉක්‌මවිය. 

ප්‍රාර්ථනාවන් මල් පුබුදා 
සිරිදුව අප පැල වෙත කැන්දා
පියරවු ලෙස මා කිරුළු දරා
රජවෙමි මගෙ දිවි තිබෙන තුරා

දූ අනුරාධා උපත ලද පසු ඔහු බුද්ධදාස ගලප්පත්ති ලවා මේ ගීය රචනා කර ගත්තේය. ඉන් නොනැවතී 1982 දී අනුරාධා නමින් ගී ප්‍රසංගයක්‌ද ආරම්භ කළේය. ප්‍රසංගයේ සනත් සමග මල්කාන්ති නන්දසිරිද ගී ගැයුවාය. 

සිත පවස දරා මිරිඟුව අතරේ
දිය පහස පතා සිටියදී කතරේ
ඔබ සිහිල් දොළක්‌ වී සේ පාවී
වසන්තයක්‌ වී ආවේ...

කුලරත්න ආරියවංශගේ පද රචනය. මේ ප්‍රථම වසන්තයයි. 2015 දි සනත් නන්දසිරි ප්‍රථම වසන්තයයි ප්‍රසංගය ආරම්භ කළේය. මේ ප්‍රසංගයට මව, පියා සමග දූ අනුරාධාද ගී ගැයුවාය. 

මහාචාර්ය සනත් නන්දසිරි. අද සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපතිවරයාය. සිය ඒක පුද්ගල ප්‍රසංග කලාවේ නිම් වළලු පුළුල් කරමින් හේ ත්‍රිපුද්ගල ප්‍රසංග කලාවේ නවමු ඉසව්වක්‌ ස්‌පර්ශ කරමින් මෙරට ගීත ප්‍රසංග කලාවේ ද නොමැකෙන සටහනක්‌ තබන්නට සූදානම් වේ. 

මේ දූ අනුරාධා ත්‍රිපුද්ගල ගීත ප්‍රසංගයයි. දූ අනුරාධා වෙනුවෙන් පියා සනත් සහ මව මල්කාන්තිගෙන් පිදෙන අමිළ සෙනෙහසයි. 11 වැනිදා (අනිද්දා) සවස 6.30 ට දූ අනුරාධා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. 

මෙම ප්‍රසංගයේදී පියා ගැයූ දූ අනුරාධා ගීය දියණීය අනුරාධා නන්දසිරි විසින් නව අර්ථයක්‌ ගෙන දෙමින් ගයන්නීය. පියා හා මවද ඊට එක්‌වෙති.

අපි මේ ප්‍රසංගය පිsළිබඳ මේ තිදෙනා සමග බොහෝ දෑ කතා කළෙමු. ඒ කතාබහේ සංක්‍ෂිප්ත සටහනක්‌ මෙසේ පෙළ ගස්‌වමු. 

ඔබ දිගු නිහැඬියාවකට පසුව දූ අනුරාධවත් එකතුකරගෙන නෙළුම් පොකුණට ගොඩවෙනවා. එතැනින්ම කතාව පටන්ගත්තොත්?

මම මුලින්ම ප්‍රසංගයක්‌ කළේ ස්‌වර්ණකුණ්‌ඩල කියලා. ඊට පස්‌සේ කළා ආරාධනා කියලා. ඊටත් පසුව අනුරාධා නමින් ප්‍රසංගයක්‌ කළා. ප්‍රථම වසන්ත කියලත් ප්‍රසංගයක්‌ කළා. මම කොහොමත් ඒක පුද්ගල ප්‍රසංගයක්‌ කරන්න අදහස්‌ කළේ නැහැ. අවුරුදු 30 කට පසුව තමයි මේ ප්‍රසංගය කරන්නේ. මේකත් කරන්නේ මගේ දුව අනුරාධා තමයි.

අවුරුදු තිහක්‌ නිහඬව හිටියේ ඇයි ?

මම නෙළුම් පොකුණේ නෙමෙයි බී. එම්. අයි. සී. එච්. එකේවත් ප්‍රසංගයක්‌ කළේ නැහැ. අනික මට එහෙම ප්‍රසංගයක්‌ කරන්න වුවමනාවක්‌ තිබුණෙත් නැහැ.

ඔබේ සමකාලීනයන් මෙවැනි ප්‍රසංග කොළඹින් පටන්ගෙන රටවටා අරගෙන යනවා. ඔබ නිහඬයි ඇයි මේ ?

ඒ මගේ හැටි. මම කොහොමත් හැල්මේ දුවන චරිතයක්‌ නෙමෙයිනේ. අනික මට විශ්වවිද්‍යාලයේ රාජකාරී නිසා ඒවාට වැඩිය යොමුවෙන්න වෙලාවක්‌ තිබුණෙත් නැහැ. ඉතිං අපේ දුවගේ හිතවතුන් කිහිපදෙනෙක්‌ එකතුවෙලා යෝජනාවක්‌ කරලා තිබුණා තාත්තයි අම්මයි එකතුවෙලා ප්‍රසංගයක්‌ කරමු කියලා. ඉතිං මේකට මම මහන්සිවෙන්නේ නැහැ. ඒගොල්ලෝ තමයි මහන්සිවෙලා මේ වැඩේ කරන්නේ. මාත් කැමැත්තෙන් සහභාගිවෙනවා.

දුව ක්‍ෂේත්‍රයට හඳුන්වාදෙන්න මෙපමණ කාලයක්‌ ගියේ ඇයි ?

අපේ දුවට මේ ක්‍ෂේත්‍රයේ ලොකු ගමනක්‌ යන්න බලාපොරොත්තුවක්‌ තිබුණේ නැහැ. නමුත් එයා ගීත ගයන්න එපායෑ. එයාට තනියෙන් මේ ගමන යන්න අපහසු නිසා තමයි අපිත් මේ වැඩේට එකතුවුණේ. හැබැයි එයාට මේ ගමන තනියෙන් යන්න බැරිකමකුත් නැහැ. මොකද මේ රටේ ඕනෑතරම් ආධුනික ශිල්පීන් ප්‍රසංග පවත්වනවා. නමුත් මම කල්පනා කළා මගේ ආභාෂය සහ සම්බන්ධීකරණය ඇතිව දුවට මේ හරහා හොඳ අවස්‌ථාවක්‌ ලබාදෙන්න. 

මේ ප්‍රසංගයේ තියෙන සුවිශේෂත්වය?

මේක මටත් මල්කාන්තිටත් විශේෂ ප්‍රසංගයක්‌ කියලා හිතන්නේ නැහැ. මේ ප්‍රසංග විශේෂයෙන් වටින්නේ මගේ දුවට. එයාට ක්‍ෂේත්‍රයේ ගමනක්‌ යන්න අත්වැලක්‌ සපයන්න තමයි මට වුවමනා කරලා තිබුණේ. හැබැයි දුව මේ වැඩේ සංවිධානය කළේ එයාට විතරක්‌ ගමනක්‌ යන්න හිතාගෙන නෙමෙයි. වෙනස්‌ විදිහේ ප්‍රසංගයක්‌ පවත්වන්න.

මේ ප්‍රසංගය රටවටා ගෙනියන්න අදහසක්‌ තියෙනවාද?

නැහැ. එහෙම එකක්‌ නැහැ. මේක එක්‌තරා ප්‍රසංගයක්‌ විතරයි. සමහර ප්‍රසංග පටන්ගන්නෙම රටවටා යන්නනේ. අනික මේ ප්‍රසංගය පවත්වන්නේ කිසියම් විදිහක හැඳින්වීමක්‌ කිරීමට. මොකද තාත්තා අම්මා විදිහට අපිත් දුවට යමක්‌ කරන්න එපායෑ. මම දන්නවා දුවට ගීත ගයන්න පුළුවන් කියලා. එහෙම පුළුවන්කමක්‌ තියෙද්දී හැංගිලා ඉන්න වුවමනාවක්‌ නැහැනේ. සමාජයට එන්න එපායෑ. අපේ උරුමය එයා ළඟ තියෙනවා. සමහර දෙමව්පියෝ දරුවෝ ලොකුවුණ ගමන් අතට ගිටාර් එකක්‌ දෙනවා. මම දන්න ක්‍ෂේත්‍රයේ හුඟක්‌දෙනෙක්‌ ඔය වැඩේ කරනවා. ගිටාර් එකක්‌ ගැහැව්වා කියන්නේ සංගීතකාරයෙක්‌ නෙමෙයි. මම දැකලා තියෙනවා පුවත්පත්වල පවා හරියට ඡායාරූප පළකරලා තියෙනවා. මම මගේ දුවට මුලින්ම ගිටාර් එකක්‌ අතට දුන්නේ නැහැ.

මේ ප්‍රසංගයේ ගායනා කරන ගීත එහෙම මොනවාද?

ඇත්තටම මේ ප්‍රසංගයේ අංග විසිපහක්‌ විතර තියෙනවා. එයට මගේ ඒකල ගීත වගේම මල්කාන්තිගේ ඒකල ගීත ඇතුළත්. ඊට අමතරව අනුරාධා දුවගේ ඒකල ගීතද ඇතුළත්වෙනවා. යුග පවා තියෙනවා.

මේ ප්‍රසංගයට ඔබේ සංගීත පන්තියේ දරුවන් සහභාගි වෙනවාද?

මගෙන් සංගීතය හදාරලා විශාරද උපාධිය අවසන් කරපු දරුවන් කිහිපදෙනෙක්‌ අත්වැල් ගායනයට සහභාගි කරවාගන්නවා. මගෙන් ඉගෙනගත්තු අය තෝරාගන්න ගියොත් මහගොඩක්‌ ඉන්නවානේ.

අලුත් නිර්මාණයක්‌ කරන්න අදහසක්‌ නැතිද?

මගේ අලුත් නිර්මාණ අනන්තවත් තියෙනවා. මේ ප්‍රසංගයේ අලුත් නිර්මාණ කිසිවක්‌ ගායනා කරන්නේ නැහැ. මේ ප්‍රසංගයට ඇතුළත් වන්නේ මම කරපු නිර්මාණ විතරයි. රසිකයෝ අපෙන් ඉල්ලන ගීත තමයි අපි ගායනා කරන්නේ. කොහොමත් ගීත තිහක්‌ විතර අපි තුන්දෙනා එදාට ගායනා කරනවා. මේ ප්‍රසංගයේදී රසිකයෝ අපෙන් බලාපොරොත්තුවෙන්නේ පැරණි ගීත. අලුත් ගීත ඉල්ලන එකක්‌ නැහැ. මේ ප්‍රසංග කරන්නේ මාව ප්‍රමෝට්‌ කරගන්න නෙමෙයි. මගේ දුවට ක්‍ෂේත්‍රයට එන්න අවස්‌ථාවක්‌ ලබාදෙන්න තමයි වුවමනව.

වර්තමාන ගීත කලාව ගැන මොකද හිතන්නේ ?

හොඳත් තියෙනවා. නරකත් තියෙනවා. හැබැයි නවක ගායක ගායිකාවෝ ගීත ගයනවා කියන එකම නෙමෙයි කරන්න ඕනෑ. අරුත්බර දෙයක්‌ තමයි කරන්න ඕනෑ. නිකං මේ සින්දු කියනවා කියලා වැඩක්‌ නැහැ.

මීළඟට අප මල්කාන්ති නන්දසිරි සමග කතාබහ කළෙමු.

ඔබ, සැමියා සමග තවමත් ප්‍රසංගවලට සහභාගිවෙනවාද?

අපි දෙන්නා හැමදාම ප්‍රසංග වේදිකාවේ ගීත ගයපු දෙන්නෙක්‌. අදත් මේ මහාචාර්යවරයා එහෙමත් නැතිනම් ලංකාවේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ එකම කුලපතිතුමා ප්‍රසංග වේදිකාවට නගිනවා. ගොඩක්‌ දෙනෙක්‌ එළිමහන් ප්‍රසංග වේදිකාවට ගොඩවෙන්නේ නැහැ. අපි සම්භාව්‍යයි. අපි උගතුන්, අපිට සංගීතය පිළිබඳ හසල දැනුමක්‌ තියෙනවා කියලා ප්‍රසංග වේදිකාවට ගොඩවෙන්නේ නැහැ. අපි දෙන්නාට අදටත් ප්‍රසංග වේදිකාවේ තිබෙන ප්‍රතිචාරවලින් අඩුවක්‌ නැහැ. මෙතැනට ඇවිත් අවුරුදු හතළිහක්‌ විතර වෙනවා. ඒත් රසික ප්‍රතිචාරවලින් අඩුවක්‌ නැහැ.

දූ අනුරාධා ප්‍රසංගය ගැන මොකද හිතෙන්නේ ?

දුව අනුරාධා අවුරුදු හතළිහක්‌ වෙනකම් ක්‍ෂේත්‍රයට ආවේ නැහැ. කොච්චර උනන්දු කළත් එන්නේ නැහැ. නමුත් මට ඇත්තටම සතුටුයි. ඇගේ හිතටම එවැනි අදහසක්‌ ඇවිත් මේ ප්‍රසංගයක්‌ කරන්න පෙළඹීම ගැන. දූ අනුරාධා ගීතය හින්දා ඇයට අලුතෙන් නමක්‌ හදාගන්න දෙයක්‌ නැහැ. ඒ නම රසිකයන් අතර ඒ තරම් ජනප්‍රියයි. මේ ප්‍රසංගය රසිකයන්ට අපි දෙන්නාගේ ගීත අහන්න ලබාදෙන අවස්‌ථාවක්‌ විතරක්‌ම නෙමෙයි. ප්‍රධාන වශයෙන් අපේ දියණියගේ හඬ ක්‍ෂේත්‍රයට හඳුන්වාදීමට තමයි උත්සාහ කරන්නේ. ඇය කවදාවත් ජනප්‍රියවෙලා වේදිකාවට ගොඩවෙලා ගීත ගායනා කරන චරිතයක්‌ නෙමෙයි. අපි දෙන්නාම කල්පනා කළා අපේ දියණියට අත්වැලක්‌ වෙන්න නෙළුම් පොකුණේ ප්‍රසංගයක්‌ පවත්වන්න. මාර්තු 11 වැනිදා නෙළුම් පොකුණේ දූ අනුරාධා නමින් මේ ප්‍රසංගය පවත්වනවා.

තිස්‌ වසරකට පසුව දූ අනුරාධා අරගෙන නෙළුම් පොකුණට ගොඩවෙන්නේ. එදාට මොනවිදිහේ වෙනස්‌කම් සිදුවේවිද?

ඇත්තටම මේ ප්‍රසංගයේ ගීත ගැයීම තමයි ප්‍රධානම දේ. වෙන වෙන විච්චූර්ණ නැහැ. ඉතිං අපි ගයන්න තමයි එතැනට එන්නේ. හොඳින් ගායනා කරන්න. හැබැයි ඒකේ විවිධත්වයත් තියෙනවා. ඒක මෙහෙම කියලා වැඩක්‌ නැහැ. ඇවිල්ලාම බලන්න කියලා තමයි අපි කියන්නේ. 

අනුරාධා, තාත්තා සහ අම්මාගේ සමකාලීනයන්ගේ දරුවන් දැනටමත් ක්‍ෂේත්‍රයට ඇවිත්. ඔබ මෙතැනට එන්න සෑහෙන කාලයක්‌ ගත්තා නේද?

ඇත්තටම මම ගොඩක්‌ ඉදිරියට කඩාගෙන යන්න කැමැති නැහැ. ඒ වගේම මගේ අම්මා තාත්තාටත් මාව බලෙන් මෙතැනට තල්ලු කරන්න වුවමනාවක්‌ තිබුණේ නැහැ. 

ඔබ සංගීතය හැදෑරුවාද?

මම සංගීතය හැදෑරුවා. විශාරද උපාධිය කළා. අහම්බයෙන් මගේ පාසලේම සංගීත ගුරුවරිය විදිහට සේවය කිරීමේ අවස්‌ථාව පවා මට උදාවුණා. මම විවාහවෙලා අවුරුදු අටක්‌ විතර හිටියේ විදෙස්‌ගත වෙලා. නැවත ලංකාවට ආවට පස්‌සේ තාත්තාගේ සංගීත පන්තිවලට උදව්වෙන්න පටන්ගත්තා.

මෙවැනි ප්‍රසංගයක්‌ කරන්න හිතුවේ ඇයි ?

අපි මේ ප්‍රසංගය කරන්න කලින් මම සහ මගේ මිතුරන් කිහිපදෙනෙක්‌ එකතුවෙලා වෙනත් ප්‍රසංගයක්‌ පවත්වන්න හිතාගෙන හිටියේ. ඒ අදහස මගහැරිලා මගේ ඒක පුද්ගල ප්‍රසංගයක්‌ කරන්නත් අදහසක්‌ ආවා. අන්තිමේ කොහොම හරි අපි තුන්දෙනාගේ ප්‍රසංගයක්‌ කරන්න යෝජනා වුණා. අනික මට මේ ගමන තනියෙන් යන්න වුවමනා නැහැ. මට හැමදාම ශක්‌තිය වුණේ අම්මයි තාත්තයි. ඒ දෙන්නාගේ ශක්‌තිය ඒ ආලෝකය සමග මේ ප්‍රසංගය කරන්න අදහස්‌ කළේ. දූ අනුරාධා නම බ්‍රෑන්ඩ්වුණේ තාත්තාගේ සින්දුවෙන්. ඒ ආලෝකය සමග තමයි මේ ප්‍රසංගය කරන්න හිතුවේ. 

අනුරාධා මේකත් නෙළුම් පොකුණේ පවත්වන තවත් එක්‌ ප්‍රසංගයක්‌ වේවිද?

නැහැ. මේක ගායන ප්‍රසංගයක්‌. ඒක පුද්ගල නෙමෙයි. ත්‍රිපුද්ගල ප්‍රසංගයක්‌. හැබැයි ත්‍රිපුද්ගල ප්‍රසංග නෙළුම් පොකුණේ පවත්වනවා. හැබැයි අම්මායි තාත්තයි පුතයි ප්‍රසංග කරලත් නැහැ. ඒ වගේම අම්මයි තාත්තා දුවයි ප්‍රසංග කරලත් නැහැ. ඒක හින්දා ප්‍රේක්‍ෂකයාට මේ ප්‍රසංගය නැවුම් අත්දැකීමක්‌ ලබාදේවි කියලා හිතනවා. අනික මේ ප්‍රසංගයට නැටුම් එහෙම නැහැ. දූ අනුරාධා ප්‍රසංග ගීත රසවිඳින්න එන අයට විතරක්‌ කරන ප්‍රසංගයක්‌.

දිනේෂ් විතාන
ඡායාරූප - දයාන් විතාරණ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook