Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

රටම කැලඹූ තාජුඩීන් ඝාතනය ගැන යෝෂිත
පළමු වරට කියන කතාව මෙන්න

ඇත්ත කියන්නේ කවුද?

ඕක සමාජ ජාලවල ගියපු කටකතාවක්. 
මම කවදාවත් මේකට උත්තර දීලත් නෑ මගෙන් අහලත් නෑ. 
මට කිසිවෙලාවක බයවෙන්න කාරණාවක් නෑ
- යෝෂිත රාජපක්ෂ

හිටපු ජනපතිනිය වරක් ප‍්‍රකාශයක් කරලා තිබුණා රාජපක්ෂ පවුලේ දරුවන් හරියට 8 පාස්වත් නෑ කියලා. අප දන්නා තරමින් ඔබගේ පියා සහ වැඩිමහල් සොයුරා නීතිඥයන්. ඔබේ සොයුරන් දෙදෙනාම ආචාර්ය උපාධි සඳහා සූදානම් වෙනවා. ඔබගේ අධ්‍යාපන වටපිටාව ගැන කතා කළොත්?

මම උසස් පෙළ කළා. උසස් පෙළ ප‍්‍රතිඵල ආපු දවසට පසුදින මම නාවික හමුදාවට බැඳුණා. එ් කියන්නේ මම නාවික හමුදාවට බැඳුණේ අවුරුදු 19දී. එතැන් සිටයි මගේ අධ්‍යාපන කටයුතු පටන් ගන්නේ. එංගලන්තයේ නාවික හමුදා පුහුණු මධ්‍යස්ථානයක තමයි මම පුහුණුවීම් කළේ. එය අවසන් කරලා මගේ මූලික උපාධිය හැදෑරුවා. ඉන්පසුව යුක්රේන ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි දෙකක් තෝරාගෙන එය අවසන් කළා. ඉන්පසුව මට ආචාර්ය උපාධියක් සඳහා ඇරයුමක් ලැබුණා. 2015 මැයි මාසයේ තමයි එ් සියල්ල අවසන් කරන්න පුළුවන් වුණේ. සුදුසුකම් නෑ කියලා ඔවුන් කියනවා නම් එ්කට මට කරන්න දෙයක් නෑ.

ඔබ රගර් ක‍්‍රීඩකයෙක්. අපි වෙනත් ක‍්‍රීඩාවක් ගැන කතාකරමු. කි‍්‍රකට් ගැන මොකද හිතන්නේ?
හොඳට සෙල්ලම් කරනවා.



ඔබ විශේෂයෙන් කැමති කි‍්‍රකට් ක‍්‍රීඩකයෙක් ඉන්නවද?
කීපදෙනෙක් ඉන්නවා. අර්ජුන, අරවින්ද, මුරලිදරන්. ඔය සියලූදෙනාම හොඳ ක‍්‍රීඩකයෝ. නමුත් නායකයෙක් වශයෙන් ගත්තම අර්ජුන තමයි හොඳ නායකයෙක් විදියට කටයුතු කළේ. ඔහුගේ දැන් හැසිරීමත් ඉස්සර ක‍්‍රීකට් කණ්ඩායම හැසිරවූ ආකාරයත් මට නම් වැඩි වෙනසක් නෑ. ඔහු හොඳ නායකයෙක්.



ඔබ රගර් කී‍්‍රඩාව අතරතුර විඳි මිහිරි අමිහිරි අත්දැකීම් මොනවද?
ඕනම තරගයක් ජයගැනීම මිහිරියි. පරාජය අමිහිරියි. පාසල් කාලයේ ජාත්‍යන්තර තරගයකදී ලංකාවේදී අපි ජය ලැබුවා. මගේ සොයුරාගේ නායකත්වයෙන් යුතුව 19න් පහළ කණ්ඩායමට අපි තරගයක් තිබ්බා. එහිදී ක‍්‍රීඩකයන් කිහිපදෙනෙක්ම තුවාල වුණා. එ් මගේ රග්බි ක‍්‍රීඩාවේ මුල් කාලයේ. එ් වෙලාවේ මට සිදුවුණා තරගයේ නායකත්වය ගන්න. අපි එ් තරගයෙන් ජය ලැබුවා. එ් අත්දැකීම් මිහිරියි.
පරාජය මම අමිහිරියි කියලා හිතන්නේ නෑ. එ්ත් මෑත කාලයේ එ් කියන්නේ 2016 ජනවාරි මාසයේ හවස 6ට තිබ්බ මැච් එකකට සූදානම් වෙලා හිටියේ. උදේ මට ඇමතුමකින්් ඇවිත් දැනුම් දුන්නා නාවික හමුදා මූලස්ථානයට රපෝර්තු කරන්න කියලා. එතකොටයි මම දැනගත්තේ යන්න වෙන්නේ නෑ කටඋත්තරයක් ගන්න තියෙනවා කියලා. ඉතින් මම හිත හදාගත්තා හවසට මැගසින් එකේ තමයි කියලා.



නාවික හමුදාවට බැඳෙන්න ක‍්‍රීඩාවේ දක්ෂතම් සුදුසුකමක් වුණාද?
ඔව් මම හිතනවා ඒක පිටිබලයක් වුණා කියලා. එ්ත් මම හිතන්නේ නාවික හමුදාවට බැඳෙන්න මට සුදුසුකම් තිබුණා.

එතකොට කට්ටිය මඩගහන්නේ ඇයි නාවික හමුදාවට බැඳෙන්න ඔබට සුදුසුකම් තිබුණේ නෑ කියලා.?
ආ.. එ්කද… එ් තාත්තා ජනාධිපති වුණු නිසා.



එහෙනම් ඇයි තාත්තා ජනාධිපති වෙලා ඉඳිද්දී පුතා නාවික හමුදාවට ගියේ?
එ්ක මගේ පොඩිකාලේ ඉඳන් තිබුණු ආසාවක්. මගේ පන්තියේ 4 දෙනෙක් හමුදාවට බැඳුණා. දෙන්නෙක් යුද හමුදාවට. 2006 වසර වෙනකොට නැවතත් යුද්ධයේ උච්ඡුතම කාලයක් ආවා. මම මුලින්ම තාත්තට කියන්න කලින් අයියට කිව්වා මට නේවි එකට යන්න ඕන කියල. අයියා කිව්වා පලයන් කියලා. තාත්තටයි අම්මටයි කිව්වාම යන්න කිව්වා.

ඇයි එ් කාලේ මේවා කතාකළේ නැත්තේ?
එ් කාලේ චෝදනාවක් තිබ්බේ නෑ මේවා කතාකරන්න. මගේ ජීවිතේට බලපෑවෙත් නෑ. තවත් කෙනෙකුගේ මතයක් වෙනස් කරන්න මට ඕන වුණෙත් නෑ.

පහුගිය දවසක එෆ්සීඅයිඞීයට ආපු ඔබ ගෙදර ගියේ ත‍්‍රීවිල් එකකින්. තී‍්‍රවීල් එකකින් යන්න එෆ්සීඅයිඞීයට යන්නම වුණාද? නැත්නම් එ්ක රඟපෑමක් ද?
නෑ. මම ඕනෙතරම් ත‍්‍රීවීල්වල ගිහින් තියෙනවා. ඉස්කෝලේ යන කාලේ මම බස්වලත් ගියා. එදා එෆ්සීඅයිඞීයෙන් හිතුවාට වඩා කලින් එළියට ආවා. මාව බස්සපු ඩ‍්‍රයිවර් හිටියේ නෑ කන්න ගිහින්ද කොහෙද. මම ත‍්‍රීවීල් එකකට අතදැම්මා. එ්ක නැවැත්තුවේ නෑ යන්න ගියා. දෙවැනි එකට අතදැම්මා. එ්ක නැවැත්තුවා. මම ගියා. එ් වෙද්දී කැමරා අරන් මාධ්‍යවේදීන් පිරිසක් ඇවිත් හිටියා. මම ඔවුන්ට යන්නම් කියලා අතවනලා යන්න ගියා. එච්චරයි වුණේ. මම රඟපෑමක් කළා නම් ඉතින් මට නාට්‍යවලට එන්න කියයි.



යෝෂිතට එෆ්සීඅයිඞීය එක්ක තරහක් තියෙනවද?
ආයතනය සමග තරහක් ඇතිකරගෙන වැඩක් නෑ.

හිරගෙදරදී මාර සැපක් වින්දාලූ නේද? ඇත්තටම එහෙම සැපක් තිබුණද?
තමන් ඉන්න තැන හිත හදාගෙන ඉන්නවා නම් ඉතින් ඉන්න පුළුවන්. එදා සිරගෙදරට යද්දී පැදුරු දෙකක් දාලා තිබුණා. එක්කෙනෙක් රෝහල්ගත වුණා අනතුරක් වෙලා කකුල කැඩිලා තිබුණු නිසා. මාත් එක්ක 3 දෙනෙක් හිටියා. අනිත් දෙන්නට පැදුරු දෙක දීලා මම අයිනට වෙලා හිටියා.

පළමු වතාවට අත්දෙකට මාංචු වැටුණම මොකද හිතුණේ?
මුකුත් නෑ මේක ගලවගන්න පුළුවන්ද කියලා බැලූවේ. යතුරක් දැක්කා ඉතින් අදහස අත්හැරගත්තා.



යෝෂිත රාජපක්ෂ කියන නම අහද්දිම වචන 4ක් මතක් වෙනවා. එකක් රග්බි. එකක් නේවි. එකක් එෆ්සීඅයිඞී අනික තාජුඞීන්. යෝෂිත.. ඇත්තටම මොකක්ද වුණේ?
මම හිතන්නේ ඕක සමාජ ජාලවල ගියපු කටකතාවක්. මම කවදාවත් මේකට උත්තර දීලත් නෑ මගෙන් අහලත් නෑ. මට කිසිවෙලාවක බයවෙන්න කාරණාවක් නෑ. අපි කියන්නේ එයාට වස්සා කියලා. අපේ ඉස්කෝලේ අයියා කෙනෙක්. මට වඩා අවුරුදු 3ක් ජ්‍යෙෂ්ඨයි. අපි ඉස්කෝලෙන් පස්සේ අන්තර්සමාජ තරගවලදී හමුවෙලා නෑ. මම ක‍්‍රීඩාව පටන් ගත්තේ 2009දී. ඔහු 2009, 2010 වෙද්දී ක‍්‍රීඩාව නවත්තලා තිබ්බා. එ් කටකතාව ගියා මම උත්තර දෙන්න ගියේ නෑ. ඉතින් එ්ක වර්ධනය වීමක් තමයි වුණේ.

එ් ගැන කතා නොකර සිටීම අවාසියක් වුණේ නැද්ද?
දැන් තමයි එ්ක තේරෙන්නේ. මොකද මේක සමාජය තුළට කාවැද්දුවා යෝෂිත කියන්නේ මිනීමරුවෙක් කියලා. මට කියන්න තියෙන්නේ මට මේ ගැන බියවෙන්න කිසිදු දෙයක් නෑ කියන එක විතරයි. එ් මුළු සිද්ධියටම මගේ කිසිම සම්බන්ධයක් නෑ. තව කතාවක් ගිහින් තිබ්බා හිටපු යාළුවෙක් එක්ක සම්බන්ධතාවයක් තිබ්බා කියලා. එ් නිසා මං එයාව ඝාතනය කළා කියලා. එක එක ඔය වගේ කතා මැව්වා. ළඟදි සීඅයිඞීයෙන් මාව ගෙන්නුවා කටඋත්තරයක් ගන්න එ්කට. දැන් මට විතරක් නෙවෙයිනේ. මට දුක අම්මවත් මේකට දාගත්ත එකයි. අපිට ඕන එකක් ඔට්ටුයි. එ්ත් අම්මා කෙනෙක්ට චෝදනා කරද්දී ඕනම කෙනකුට එ්ක දරාගන්න බෑ. මේ චෝදනාව එන්නේ අපි එ් කිසිම දේකට සම්බන්ධ නැතුව.

එතකොට මේක කවුරු නිර්මාණය කරපු කතාවක්ද?
මේක තනිකරම ගොසිප් වෙබ්සයිට් එකකින් ආපු කතාවක්. එ් කාලේ අපි ගොසිප් කිව්වට එ් කට්ටියව අල්ලලා රිමාන්ඞ් කළේ නෑනේ. අපි උත්තර දෙන්න ගියේ නෑ ගොසිප් කියන්නෙ වගකීමක් නැති මාධ්‍යයක් නිසා. මම හිතුවේ එවැන්නකට පිළිතුරු දීම සුදුසු නෑ කියලයි.

එ්කට දේශපාලන සම්බන්ධයක් තියෙනවා කියලා හිතනවද?
මම විශ්වාස කරනවා මේක තනිකරම දේශපාලන වාසි ලබාගන්න කරපු දෙයක් කියලා. මගේ පවුලේ දේශපාලනය ගත්තොත් එ්කට අතීතයක් තියෙනවා. ඔවුන් හැමදාම දේශපාලනයේ ඉන්න අය. නමුත් වසීම් අයියගේ දේශපාලනයෙ හිටපු අයටත් එ්කට එන්නවත් හිතපු අයවත් නෙවෙයි. වසීම් තාජුඞීන් කියන නම ගොඩනැගුවේ දේශපාලනඥයෙක්. ඔහුගේ දෙමව්පියන්, සහෝදරයන් ඔක්කොම මේකට සම්බන්ධ කරගත්තා. අන්තිමට ඔහු වළදාපු තැනිනුත් ගොඩඅරන් ලොකු මාධ්‍ය සංදර්ශනයක් තිබ්බා. මට හරිම කනගාටුයි දේශපාලන වාසි ගන්න මේ වගේ දේවල් කරන එකට. එ්කට තව දේශපාලන ක‍්‍රමවේදයකුත් හදනවා. ඔහු මුස්ලිම් ජාතිකයෙක්. එ් නිසයි අපි ඔහුව ඝාතනය කළේ කියලා හරියට මං ගැන කිව්වම ඔය වචනය ගැන කියවෙනවා වගේ. මං හිතනවා සමාජය මේක හරියට තේරුම් ගනීවි කියලා.

මාධ්‍ය සාකච්ඡුාවලදී තාජුඞීන් කියන නම කියවෙනවා?
මේක දේශපාලන වශයෙන් කරගෙන යන දෙයක්. මම සෑහෙන්න විශ්වාස කරනවා අධිකරණය ගැන. මම හිතන්නෑ අධිකරණය වැරදිකරුවෙක් නොවන කෙනෙක් වැරදිකරුවෙක් කරයි කියලා. දේශපාලන ප‍්‍රකාශ කරද්දී සමාජය තුළ ඇති වන කතිකාව තමයි මූලික වුණේ මේක මම කරා කියන තැනට ගේන්න. මේක ජාතිවාදය අවුස්සන්න කරන දෙයක් කියලා මම විශ්වාස කරනවා. ඔහු අපිත් එක්ක සෙල්ලම් කරපු කෙනෙක්. මාත් එක්ක සෙල්ලම් කරපු මට වඩා අවුරුද්දක් බාල තවත් කෙනෙක් සහ ඔහුගේ සහෝදරයා නැතිවුණා. කවුරුත් එ් ගැන කතාකරන්නේ නෑ. වසීම් කෙනෙක් ගැන විතරයි කතාකරන්නේ. එ් දෙන්නා හැප්පිලා නැතිවුණේ. එ් දෙන්නා සිංහල බෞද්ධ අය. වසීම් මුස්ලිම් කියලා වෙන් කරගෙන කතාකරද්දී හිතෙනවා මේක ජාතිවාදය අවුස්සන්න කරන වෑයමක් කියලා. ජනතාව මේක භාරගත්තු විදියට තමයි දැන් පසුබිම නිර්මාණය වෙලා තියෙන්නේ. මා පිළිතුරු නොදී හිටියෙත් ඔය හේතුව නිසාමයි. දේශපාලන වේදිකාවක කීමට හෝ දේශපාලනයට පිවිසීමට මගේ අදහසක් තිබුණේ නෑ. එ් නිසා මම මේවා කතාකළේ නෑ.



ඔබ දේශපාලනයට එන්න අදහසක් තියෙනවද?
නෑ.

එ්ත් අපි පහුගිය දවසක ඔබ දේශපාලන වේදිකාවක දැක්කා.
ඔව් මම තැන් කිහිපයකට ගියා. එ්කෙන් කියවෙන්නේ නෑ මම දේශපාලනයට එන්න හදනවා කියලා.

කාගෙන්හරි ආරාධනාවක් ලැබුණොත් දේශපාලනයට එන්න කියලා?
තවම ආරාධනාවක් ලැබිලා නෑ.

ආරාධනාවක් ලැබුණොත් දේශපාලනයට යනවද?
එහෙමම කියන්න බෑ මට. මගේ පවුලේ දේශපාලනය කරන සෑහෙන කොටසක් ඉන්නවා. තාත්තා අයියා බාප්පලා. යම් පක්ෂයකින් හෝ යම් කෙනකුගෙන් ආරාධනාවක් ලැබුණොත් මම මුලින්ම තාත්තාට කියනවා. එ් ලැබෙන උත්තරය අනුව තමයි දෙයක් සිද්ධවෙන්නේ.
නිහඬතාවය අවාසියක් ලෙස මම යම් පැත්තකින් දකිනවා. නමුත් ඔබට යම් ඉලක්කයකට යා යුතු නම් නිහඬව සිටිය යුතුයි. කිය කිය හිටියොත් ඔබට ගහන්නට ගොඩක් දෙනෙක් ඉඳීවි. ජනතාව යම් දෙයක් තේරුම් ගැනීමේදී එය කියන්නේ කවුද ඇයි එහෙම කියන්නේ කියලා වගේම එ් පුද්ගලයා අඳුරගෙන සිතා බලා තේරුම් ගත යුතුයි.

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි
රිවිර සහ News i සමග කළ සංවාදයක් ඇසුරිනි

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook