Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ඡන්ද වේදිකාවේ සුරතල් වෙන
පාතාල කුක්කෝ

දේශපාලනයත් පාතාලයත් අතර ඇත්තේ ගහට පොත්ත වැනි සම්බන්ධයකි. දේශපාලනයෙන් තොර පාතාලයකුත්, පාතාලයෙන් තොර දේශපාලනයකුත් ලාංකීය දේශපාලනය තුළ ඇත්තේම නැත. කෙසේ හෝ එකෙක් දෙන්නෙක් දේශපාලනඥයෙකුට හේත්තු වී කටයුතු කිරීම අද ඊයේ සිට නොව මීට වසර ගණනාවක සිට සිදුවූවකි. මෙරට පාතාලයේ කෙරුවාව ආරම්භ වන්නේ අනූව දශකයේ සිටය. පිඩලි උපාලි හෙවත් සොත්ති උපාලි මහා කෙරුමෙකු වූයේ දේශපාලන හයිය නිසාය. මේ නිසාම සොත්ති උපාලි පොලීසියට වඩා බලතල ඇත්තෙක් විය. උපාලිගෙන් පසු නාවල නිහාල් කරළියට ආවේය. ඔහු ද දේශපාලනය සමඟ යහමින් නැටුවේය. එළිපිට ගණිකා නිවාස, ආයුධ ව්‍යාපාර කළේය. දේපළ බලහත්කාරයෙක් අල්ලා ගත්තේය.

නිහාල්ගෙන් පසු අමරසිංහලා රජ කළහ. ධම්මිකත් චින්තකත් එළිපිට නැටුවේ දේශපාලනය නිසාය. ධම්මික කාලයක් සැඟවී සිටියේ බොරැල්ලේ දේශපාලනඥකුගේ නිවසේය. ඊට පසු ජනාධිපති ආරක්ෂක අංශවල කාලයක් බැද්දගානේ සංජීවලා රජ කළහ. කෙතරම් රජකළ ද කියතොත් කලාකාරයකුට පවා ජීවත්වීමේ නිදහස නැති තත්ත්වය තිබිණි. 

මේ සියලු දේවල්වලින් රටේ දේශපාලකයන් හැදුණේ නැත. කාලයක් මේ පාතාලයෝ ඡන්ද පෙට්ටි පවා සොරකම් කළහ. ජනතාව ඡන්දය දමන්නට එනවිට ඡන්දය දමා ගොස් තිබූ අවස්ථා අප්‍රමාණ තිබුණේය. එවැනි භීෂණ යුගයක් පසුකළත් දේශපාලනඥයා හැදුණේ නැත. අවසානයේ උන්ගේ ගෝලයෝ දේශපාලනය තල්ලු කරනු ලැබූහ.

එම ගෝලයෝ ප්‍රාදේශීය දේශපාලනයට අත ගැසූහ. ප්‍රාදේශීය දේශපාලනයට පැමිණ සිය දහදුරා වැඩ අත ඇරියේ නැත. දේශපාලන බලය යොදා ගසා කෑහ. ඉඩම් අල්ලා ගත්හ. මේ නිසා ඇතැම් ප්‍රදේශවල මිනිසුන් හිටියේ මර බියෙනි. 
මේ ඉතිහාසයේ කතාය. දැන් ඇත්තේ යහපාලනයය. නීතිය හා සාමය අගයන ඇත්තවුන්ය. වැරදිකරුවන්ට අපරාධකරුවන්ට ගැලවීමක් නැති ආණ්ඩුවක්ය. අපි නොව එය කියන්නේ ආණ්ඩුවේම අයයි. ඒ නිසා කියන තරම් යකා කළුදැයි අපි සොයා බැලුවෙමු. ඒත් පුදනකොටම කාපි යකා කියා පසුගියදා අමුතු කතාවක් එළියට ආවේය. ඒ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් විසින් හෙළිකළ කරණයක් නිසාය. ඒ එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ මහනගර සභාවට පාතාලයකුගේ පුතකු ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවට සිදුකළ හෙළිදරව්වක් නිසාය. මේ නිසා රටම කැළඹුණේය. එපමණක් නොව එම මැතිවරණ කණ්ඩායම් හෙළිකළේ තවත් පාතාල සාමාජිකයන් අනෙකුත් පක්ෂවලින් මෙවර තරග කිරීමට යොදවා ඇති බවයි. එහෙත් ඔවුන් විස්තර හෙළිදරව් කළේ නැත.

මේ සියලු කතා ගැන අවධානය යොමු කළ අපි, වර්තමානයේ පාතාල සබඳතා ගැන සොයා බැලීමට තීරණය කළෙමු. මේ වර්තමාන දේශපාලන ලොකු ලොක්කන්ගේ දේශපාලන පාතාල සබඳතා ගැනය. 

එක්සත් ජාතික පක්ෂයෙන් පාතාල පුතකු මෙවර පළාත් පාලන ඡන්දයට යොදවා තිබුණේ එම පක්ෂයේ පාතාල ගනුදෙනු ගැන මුලින් පවා සැකයක් එක්කල පුද්ගලයකු විසිනි. මීට පෙර ඔහු ඡන්දය ඉල්ලන අවස්ථාවේ ඔහුගේ පාගමනට සහභාගී වූ පාතාලයන් දෙදෙනකුට තවත් ප්‍රතිවිරුද්ධ පාතාලයන් පිරිසක් විසින් වෙඩි තැබුවේ මහා දවාලේය. එහිදී පාතාලයන් පැන ගිය අතර අහිංසක කාන්තාවකුත් තරුණයෙකුත් මිය ගියහ. කෙසේ වෙතත් එම පාතාලයන් පැමිණ සිටියේ විදෙස් රටක සිටය. ඒ ඔහුගේ මැතිවරණ රාජකාරි කිරීම සඳහාය. එහෙත් ඔහු කීවේ එවැනි සම්බන්ධයක් නොමැති බවය.

ඔහුට මෙදා සැරේ ද තවත් පාතාලයන් දෙදෙනකුගේ දරුවකු සහ ඥාතියන් කොළඹින් තරග කිරීම සඳහා දමා ඇතැයි චෝදනා එල්ල විය. එහෙත් කුඩු ව්‍යාපාරිකයකුගේ පුත්‍රයාගේ නම හදිසියේම අලුයම අග්‍රාමාත්‍යවරයා විසින් ඉවත් කළ බව නිවේදනය කර තිබිණි. ඒ මාධ්‍යත්, ඉහත කී මැතිවරණ නිරීක්ෂකයනුත් සිදුකළ හෙළිදරව්වක් නිසාය. කෙසේ වෙතත් එක් අයකුගේ නම හඳුනාගත් තවත් අයෙක් තවමත් ලිස්ට් එකේ සිටින්නේය.

මේ අතර දකුණේ එළිපිට පාතාලයෝ දඟලමින් සිටිති. ඒ කනා පාරකින් පාර්ලිමේන්තුවට ගිය නිසාය. අවසානයේ එසේ ගිය ඔහුට නරියට කුකුල්ලු බාරදෙන්නා සේ වැඩක් සිදු වුණේය. මේ නිසා පාතාලයෝ උඩ පැන්නාහ. කොටින්ම කියතොත් වැඩ පටන් ගත්දාම දකුණේ පොලීසියකට ගොස් ඉහත කී දේශපාලනඥයාගේ නියෝග මත සැකකරුවන් මුදා ගැනීමට උත්සහ කළහ. ඒ ඉහත කී දේශපාලනඥයාගේ හයිය නිසාය.

මේ දේශපාලනඥයා පොඩි චරිතයක් නොවන්නේය. දකුණේ පාතාලය කැළඹූ කොස්ගොඩ සුජීගේ විවාහයට සාක්ෂි ලෙස අත්සන් කළ සාක්ෂිකරුය. දකුණේ එක වැලක මිනීමැරුම් සිදුකළ පාතාලයකුගේ විවාහයට සාක්ෂිකරුවකු ලෙස අත්සන් කිරීමට තරම් මේ දේශපාලනය ලජ්ජා නැතිකම පෙන්වයි. කෙසේ වෙතත් අප්පට දෙවැනි නොවු පුත්‍රයාද පතාලයේ ගෝලයන් වටකරගෙන දේශපාලනය කරන අයකු බව කියති. මේනිසා තාත්තාටත් පුතාටත් ඒවගේම ඒ දෙදෙනාගේ කටු කන පාතාලයන්ටත් බයේ සිටීමට ජනතාවට සිදුව තිබේ. 

තමන්ට ලැබුණු තනතුරටවත් කෙළෙහි ගුණයක් නොපෙන්වූ මේ දේශපාලනඥයා මෙවර මැතිවරණයට කාන්තාවකුත් පිරිමි පුද්ගලයකුත් දැමුවේය. කාන්තාව වූයේ කොස්ගොඩ සුජීගේ හොඳම ගෝලයා වූ කොස්ගොඩ තාරකගේ මවය. කොස්ගොඩ තාරක යනු දකුණේ පාතාලයේ වෙඩික්කරුවෙකි. එසේම මැතිවරණය සඳහා ඉදිරිපත් කළ පිරිමි පුද්ගලයා වූයේ දකුණේ පාතාලයේ අලුගෝසුවා වූ කොස්ගොඩ සුජීගේ වැඩිමල් සොහොයුරාය. කොස්ගොඩ සුජීගේ පරම්පරාවටම බය දකුණේ මිනිසුන්ට මෙවර තමන් වෙනුවෙන් පෙනී සිටින අපේක්ෂකයා තෝරා ගැනීමට සිදුවී ඇත්තේ පාතාලයන් අතරෙන්ය. එහෙත් අප ඔවුන්ට දොස් කියන්නේ නැත. ඔවුන්ට ඡන්ද ඉල්ලීමට අයිතියක් ඇත. එහෙත් ඔවුන්ට රටේ ප්‍රධාන පක්ෂයකින් අපේක්ෂකත්වය ලබා දී නීතිය ගැන දේශපාලනඥයකුගේ අනුදැනුම මත ඔවුන්ට කියා දීමට යන්නේනම් මේ රටේ විනය ගැන තවත් කුමන කතාදැයි අපට අසෙන්නට ඇත.

කෙසේ වෙතත් මේ දේශපාලනඥයාගේ පාතාල කෙරුවාවන් දන්නා නිසාම ජනතාව එකවරක් ඔහු ප්‍රතික්ෂේප කළහ. මෙවන් පාතාල ගනුදෙනු ඇති පුද්ගලයන් තව තවත් මැදිහත් වී පාතාලයන් රජ කරවන්නට උත්සාහ ගන්නේ නම් මේ රටේ යුක්තිය කුමකටදැයි ජනතාවට ප්‍රශ්න කිරීම සාධාරණය.

මේ අතර තවත් ප්‍රබල පාතාලයකුගේ ගෝලයකු දකුණු පළාතේ එක්තරා ආසනයකට තරග කරන්නට දමා ඇත. ඒ දැනට පාතාලයේ ගෝඩ් ෆාදර් වීමට උත්සාහ ගන්නා අයකු වන මාකඳුරේ මදූෂ්ගේ ගෝලයෙකි. ඔහු මෙවර මැතිවරණයට ඉදිරිපත් වනුයේ දකුණේ තවත් එක්තරා ප්‍රබල දේශපාලනඥයකුට උදව් උපකාර කළ නිසාය.

කෙසේ වෙතත් මදූෂ් ද එවැනිම දේශපාලනය නිසා ගොඩ ගිය අයෙකි. ඔහු පසුගිය මහමැතිවරණයේදී වර්තමාන දේශපාලනඥයකු වෙත බැහැගෙන උදව් කළේය. පේන්නට පාරේ රැළි තැබුවේය. පාගමන් ගියේය. ඒ වනවිටත් මිනී මැරුමකට අත්‍යවශ්‍යව සිටි නිසා හොර ගුවන් ගමන් බලපත්‍රයකින් යහපාලන කසී සළු ඉරාගෙන පිටරට පැන ගත්තේය. ඒවා දැනගත් පසුත් දේශපාලනඥයෝ කිසිත් නොදන්නා ලෙස පාතාලය මර්දනය කරන බවට පම්පෝරි ගසති. ඒ සිත නිවන කතාය.
මේ අතර කැලණිය ප්‍රදේශය තුළ තව තවත් පාතාලයේ දෙදෙනකු වැඩ කරන්නට පටන් ගෙන ඇත. ඒ ද ප්‍රබල දේශපාලනඥයකුගේ හයිය නිසායි. නාගරික මන්ත්‍රීවරයකු ඝාතනය කිරීමේ චෝදනාව මත සැකපිට සිටින ප්‍රබල පාතාල සාමාජිකයෙක් ප්‍රබල පක්ෂයක ක්‍රියාකාරියකු ලෙස කැලණියේ සැරිසරයි. ඔහුගේ සහයට එක්වී ඇත්තේ තවත් අපරාධකරුවකු වන හිටපු පොලිස් නිලධාරියෙකි. ඉහත කී ප්‍රබල දේශපාලනඥයාගේ සියලු පරවැඩ මොවුන් දෙදෙනා විසින් සිදුකරන අතර මීට මාස කිහිපයකට පෙර ඔවුන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ දැරීමේදී ඉහත කී දේශපාලකයා මැදිහත් වී එය නවතා දමා ඇත. මේ නිසා දැන් ඔවුන් නටන්නේ එළිපිටය.

කෙසේ වෙතත් මේ පාතාල සබඳතා සහ කෙරුවාවන් ඇති කිහිප දෙනෙකුගේ වැඩ ගැනය. ඇතැම් තැන්වල විශේෂ කාර්ය බාලකාය මඟින් සිදුකරන වැටලීම් පවා නවතාලන ලෙස ඇතැම් දේශපාලනඥයන් විසින් ඉහළින් ඉල්ලා ඇත. ඒ ඔවුන්ට ඡන්දය කරගන්න බැරිවෙන නිසාය.

මෙවැනි පසුබිමක් තුළ පාතාලයන් දේශපාලනඥයන්ගේ ඔඩොක්කුවෙහි හුරතල් වනවිට මොන සාධාරණ මැතිවරණදැයි අපට ප්‍රශ්නයක් ඇත. ගියවර පළාත් පාලන මැතිවරණයේදී මේ පාතාලයන් නිසා ජීවිත දෙකක් විනාශ වුණේය. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහ පාරේ වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. එසේම ඊට වැරදිකරුවකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා එල්ලුම් ගස් ගියේය. ඒ මෙම පාතාලයන්ගේ වැඩ නිසාය.

එවැනි අඳුරු අතීතයක අත්දැකීම් ඇති දේශපාලන පරිසරයක් තුළ තවමත් දේශපාලනඥයනුත් පාතාලයනුත් උත්සාහ ගන්නේ තවත් මිනිස් ජීවිත බිලිගැනීමට ද යන ගැටලුව මතුව තිබේ. ඊට පක්ෂ ද නම්‍යශීලී වී ඇත. මෙවැනි අපරාධකරුවන් රටේ නීති සම්පාදනය කරන තැනට තෙක් දක්වනවා නම් මේ රටේ අනාගතය ගැන කවර කතා දැයි අපට ඇසීමට ඇත. 

රෙහාන් රාසික්

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook