Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

බාර් තහනමට එරෙහිව උසාවි ගිය
සමනලී කියන කතාව


කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීම සහ අලෙවි කිරීම සඳහා වාරණයක් මෙරට නීතියේ පවතින බව බොහෝ අය දැනගත්තේ. මුදල් ඇමැති මංගල සමරවීර විසින් එකී වාරණය ඉවත් කිරීමට ගැසට් නිවේදනය නිකුත් කළ පසුවය. ජනාධිපතිවරයා විසින් එකී ගැසට් නිවේදනය අවලංගු කළ පසුව අද වන විට කාන්තාවකට මත්පැන් මිලට ගැනීම හා විකිණීමේ අයිතිය පිළිබඳ හඬක් රට තුළ නැගී ඇති අතර එය අද දවසේ රටේ කතාබහට ලක්වූ ප්‍රධානතම මාතෘකා අතුරින් එකක්ව ඇත. ප්‍රකට සිනමා නිළි සමනලී ෆොන්සේකා ඇතුළු එකොළොස් දෙනෙකු මේ වනවිට ජනාධිපතිවරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකොට ඇත. අප මේ ගැන වැඩිදුර විස්තර සමනලීගෙන් විමසුවෙමු.

කාන්තාවන්ට මත්පැන් අලෙවිය හා මිලදී ගැනීම සම්බන්ධව පවත්නා නීතිය පිළිබඳව අද දවසේ ප්‍රබල කතිකාවතක් මතුවෙලා. මේ වනවිට ඔබත් මේ ප්‍රශ්නය වෙනුවෙන් හඬ නගන්නියක්. 
මේක මත්පැන් පිළිබඳ ප්‍රශ්නයක් නමෛයි. රටක පුරවැසියකු විදියට කාන්තාවක් වීම නිසාම සමානාත්මතාව නැතිවීම ගැටලු සහගතයි. උදාහරණයක් විදියට දෙමළ ජාතිකයකු වීම හෝ මුස්ලිම් ජාතිකයකු වීම හෝ කාන්තාවක වීම හෝ නිසා සමාජය තුළ හිමිවිය යුතු ‍පොදු හිමිකම් නැතිවනවා නම් මම හඬ නගනවා. ඒත් ඒ හඬ නැගීම තුළ තියෙන්නේ කාන්තාවන්ට බොන්න ඕනෑ, බිලා පාරේ වැටිල ඉන්න ඕන කියන අදහස ‍නෙවෙයි. අපි එකොළොස් දෙනකු එක්වී කරන මේ කටයුත්තේදී මාව පමණක් කේන්ද්‍රගත කරලා මගේ හඬ නැගීමක් ලෙස මෙම පුවත ප්‍රචාරය වීම ගැන නම් මම තරයේ විරුද්ධයි. 

කවුද ඒ පිරිස...?
නිශාන්ති බණ්ඩාරනායක, එම්.ඩී.ජේ.බි.ප්‍රනාන්දු, චන්දිමා රචිනි ජිනදාස, දීපාංජලී අබේවර්ධන, සබ්‍රිනා එසුපුලී, සාරන්‍යා සේකරම්. රන්දුලා ද සිල්වා, මේනකා ගල්ගමුව, සුජාතා ගමගේ, විශාකා පෙරේරා තිලකරත්න යන අය

ඔබ පැවැසුවා මෙය මත්පැන් මිලට ගැනීම හා අලෙවියට කාන්තාවන් සතු අයිතිය පිළිබඳ කරන හඬ නැගීමක් පමණක්ම නොවන බව
ඔව්, මෙය කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන එක දෙයක් විතරයි. කාන්තාවන්ට සමතැන හිමිවිය යුතුයි. ඒ වෙනුවෙන් කරන සාකච්ඡාව අරඹන්න අද දවසේ සුදුසුම තැන මෙතැන. ඊට හේතුව අද දවසේ ඇති වී ඇති ප්‍රශ්නය මෙය නිසා.

මෙය බෞද්ධ රටක්. අපට සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතිය තුළ කාන්තාවට තිබෙන පිළිගැනීම අනුව ඇය මත්පැන් වෙනුවෙන් අයිතීන් ඉල්ලා සටන් වැදීම සුදුසුද?
ඔය සංස්කෘතිය ඇයට පමණද? ඒ සංස්කෘතිය රැකීමේ සහ ඉදිරියට ගෙන යාමේ පෙරගමන්කරුවා ඇය විතරමද? පිරිමින් බේබදුකමින් හැසිරෙන විට පිරිමින් ස්ත්‍රී දූෂණ, අපරාධ කරනවිට දේශපාලනඥයන්, දූෂණ හා මූල්‍ය වංචා සිදුකරන විට ඔය කියන සංස්කෘතික පරිහානිය සිදුවන්නේ නැද්ද? මා කී මේ අදහසටත් යම් අය වැරදි අර්ථකථන දෙන්න පුළුවන්. පිරිමින්ට බිලා පාරෙ වැටිල ඉන්න පුළුවන් නම් ගැහැනුන්ටත් එය පුළුවන් බව නමෛයි මම කියන්නේ. මම කියන්නේ සංස්කෘතිය රකින එක සමස්ත ජනතාවගේම වගකීම බව. ඊට පනවන සීමා ‍පොදු විය යුතු බව. මෙතැනදී අප මේ හඬ නගන්නේ ගැහැනුන්ට බොන්න ඉඩ දෙන්න කියලා ‍නෙවෙයි. කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකම් රැකලා ඇයට සමතැන හිමිවිය යුතු බව.

ඔබ නිළියක්. ‍පොදු ජනතාව නළු නිළියන්ට ආදරේ කිරීම, ඒ අයව පරමාදර්ශී චරිත බවට පත්කර ගැනීම ඕනෑම රටකට ‍පොදුයි. සමනලී ෆොන්සේකා මේ කරන හඬ නැගීම ඔබේ රසික පිරිස කෙබඳු ආකාරයට පිළිගනීවිද?
මම වෘත්තීය නිළියක්. මගේ රැකියාව මට ලැබෙන චරිතය හොඳින් රඟපාන එක. මට කවදාවත් ජනප්‍රිය නිළියක් වීමේ අවශ්‍යතාවය නැහැ. ජනතාවගේ ආදරය දිනා ගැනීම මට අවශ්‍ය නැහැ. මම නිළියක් නොවී සිටියා නම් ඒත් මේ මොහොතේ මම මේ හඬ නැගීමට එකතු වේවි. මගේ හඬ නැගීම කාන්තා අයිතිය ගැන බවත් ඒකට මේ අවස්ථාවේ සුදුසුම මාතෘකාව මෙය බවත්, මා පුන පුනා කියනවා. 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරවන්නට හඬ නැගූ අය අතර එදා ඔබත් සිටියා. අද ඔබ ඔහුට එරෙහිව නැගී සිටිනවා.
අප එදා ඒකරාශී වූයේ එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ ඒකාධිපති පාලනයට එරෙහිව හඬ නගන්න. අපි හිටියේ ස්වාධීන වේදිකාවක. ඒ මොහොතේ තිබුණු විකල්පය මෛත්‍රීපාල සිරිසේන. නමුත් මේ ධනවාදී දේශපාලන ක්‍රමය යටතේ මෛත්‍රීපාල සිරිසේන රජය තුළිනුත් වැරදි විය හැකි බව අප එදා දැන සිටියා. තනතුරු ගන්න, වාසි ලබා ගන්න ‍නෙවෙයි අපි නැගී සිටියේ. ඒ හින්දා එදාම අපේ තීරණය වුණේ යම් දාක මෛත්‍රීපාල සිරිසේන රජයෙන් යම් වරදක් වුණොත් ඊට එරෙහිවත් නැගී සිටින බව. අද මේ සිදුවන්නේ එය. පැහැදිලිව කිව යුතු දෙයක් තියෙනවා. දේශපාලනයට පිවිසීමේ අරමුණින් මෙබඳු ක්‍රියාකරන අය ඉන්නවා. ඒත් මම එතැන නැහැ. 

ආරියවංශ කුලතිලක

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook