Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

රෝස්‌මරී මැරුණාද මැරුවාද? 
- මළ සිරුරක්‌ හෙළිකළ අභිරහසක්‌

රෝස්‌මරි හැටපස්‌ හැවිරිදි නෙදර්ලන්ත ජාතික කාන්තාවකි. ඇය නෙදර්ලන්ත ජාතික කාන්තාවක්‌ වුවද පදිංචිව සිටියේ ස්‌විස්‌ටර්ලන්තයේය. රෝස්‌මරිට එක්‌ සහෝදරියක්‌ද සිටියාය. ඇය දෙතුන් වතාවක්‌ මෙරට සුන්දරත්වට විඳදරා ගැනීම සඳහා පැමිණියාය. අපේ රටේ සුන්දරත්වයට වහ වැටුණු රෝස්‌මරි මෙරට පැළපැදියම් වූවාය. ඕ මුහුදුකරය ආශ්‍රිත නගරයක පිහිටි දෙමහල් නිවසක කුලී පදනම මත පදිංචිව සිටියාය. රෝස්‌මරි රැක බලාගනු ලැබුවේ මෙරට කාන්තාවකි. ඇය රෝස්‌මරිගේ ඇප උපස්‌ථාන කටයුතු කළාය.

රෝස්‌මරි මෙකී දෙමහල් නිවසේ ඉහළ මාලයේ කාමරයක ලැඟුම්ගෙන සිටියාය. ඇය විශාල වත්කමකට හා දේපළකට උරුමකම් කී කතාවකි. ඇයට ගමන් බිමන් යැම සඳහා වෙනම කාර් රථයක්‌ද තිබුණි. ඇය නැවතී සිටි කාමරය වායු සමීකරණය කොට තිබුණි. රෝස්‌මරි දියවැඩියා රෝගයෙන් පෙළුණු කාන්තාවකි. ඇය ඒ සඳහා ප්‍රතිකාර ලබාගත්තාය. ඒ විතරක්‌ නොව අවශ්‍ය බෙහෙත් හේත් පිටරටවලින් පවා ගෙන්වාගෙන තිබුණි. ඉන්සියුලින් විද ගැනීමට අවශ්‍ය කටු සිරින්ජර ද ඇය සතුව තිබුණි. ප්‍රතිකාර ලබා ගන්නා ක්‍රමවේදය ද ඇය දැන සිටියාය. ඕ යම්කිසි පිළිවෙළකට අනුව දියවැඩියා රෝගය සඳහා අවශ්‍ය ප්‍රථිකාර ලබා ගත්තාය.

ඇයට ඇප උපස්‌ථාන කළ කාන්තාවද සතියකට වරක්‌ පැමිණ රෝස්‌මරිගේ ඇඳුම් පැළඳුම් සෝදා පිරිසිදු කොට ගේ දොර අස්‌පස්‌ කොට ගියාය. එක්‌තරා දිනයක රාත්‍රියේ පැවති සිහින් පොද වැස්‌ස මොර සූරන වාර්ෂාවක්‌ බවට පත්වීමට වැඩි කාලයක්‌ ගියේ නැත. පැවතියේ ධාරානිපාත වර්ෂාවකි. අකුණු ගසමින් මහ වැසි ඇදහෙලෙන්නට විය. පසු දින රෝස්‌මරිට ඇප උපස්‌ථාන කළ කාන්තාව සුපුරුදු ලෙස ඇය ලැඟුම් ගෙන සිටි නිවසට පැමිණියාය. නිවසේ දොර වසා තිබුණි. රෝස්‌මරිට කතා කළ ද ඇයගෙන් කිසිදු ප්‍රථිචාරයක්‌ නොවීය. "රෝස්‌මරි මට දින තුන හතරකින් කතා කළේ නැහැ. ගෙදර පිරිසිදු කරන්න ආවේ නමුත් ඇයගෙන් කිසිදු ප්‍රතිචාරයක්‌ නැහැ රෝස්‌මරි නිවසේ අයිතිකරුට කීවාය.

නිවසේ අයිතිකරු ද මෙකී විදේශීය කාන්තාවගේ සමීප මිතුරකු වූවාය. නිවසේ අයිතිකරු විසින් මේ ගැන පොලිසියට දැනුම් දුන්නේය. ඉන්පසු පොලිස්‌ නිලධාරීන් පැමිණ විදේශීය කාන්තාව ලැඟුම්ගෙන සිටි නිවසේ ඉදිරිපස දොර විවෘත කොට ගේ තුළට ඇතුල් වූහ. ඇය තම කාමරය තුළ මියගොස්‌ සිටියාය. පොලිසිය විසින් විදේශීය කාන්තාවගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්‌ෂණ කටයුතු සඳහා කරාපිටිය ශික්‌ෂණ රෝහල වෙත රැගෙන යනු ලැබීය. මෙකී නිවසේ පදිංචිව සිටියේ විදේශීය කාන්තාව පමණි. මේ නිසා ඇයගේ අභිරහස්‌ මරණය ගැන පොලිසියට ද සැක ඇතිවී තිබුණි. කිසිවකු නිවසට ඇතුල් වී මෙම කාන්තාව මරා දැම්මාද? නැති නම් ඇය දිවි හානි කර ගත්තාද? මෙය ස්‌වාභාවික මරණයක්‌ ද යන ප්‍රශ්නවලට විසඳුම් ලබාගත යුතුව තිබුණි.

ඉන්පසු පොලිසිය විසින් මෙකී විදේශීය කාන්තාව කාගේ කවුද? යන්න හා ඇගේ පුද්ගලික තොරතුරු සොයන්නට විය. නිවසේ අයිතිකරුගෙන් ද ඇය නිවසට පැමිණි කාල වකවානුව ආදී තොරතුරු පොලිසිය විසින් ලබාගනු ලැබීය. විදේශීය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්‌ෂණය සිදු කරණු ලැබුවේ ගාල්ල කරාපිටිය වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ.සී.පී. පෙරේරා මහතාය. අධිකරණ වෛද්‍යවරයා විසින් විදේශීය කාන්තාව මියගිය නිවසට ගොස්‌ ස්‌ථානීය පරීක්‌ෂණය සිදු කරනු ලැබීය. ඇය මියගොස්‌ සිටි කාමරය පරීක්‌ෂා කළේය. කාමරය ඉතා පිළිවෙළකට තිබුණි. ඒ විතරක්‌ නොව කලාත්මක නිර්මාන ද නිවසේ තිබූ අතර ඇය කලාවට ලැදි කාන්තාවක්‌ වූවාය. නිවසේ මිල අධික භාණ්‌ඩ හා උපකරණ ද විය.

ඇය නවාතැන් ගෙන සිටි කාමරයේ අල්මාරිය පොලිස්‌ නිලධාරීන් හා අධිකරණ වෛද්‍යවරයා පරීක්‌ෂා කරණු ලැබීය. එහි අධිකරණයේ විභාග වන දික්‌කසාද නඩුවකට අදාළ ලිපි ගොනුවක්‌ විය. එහි මෙකී කාන්තාවගේ විවාහ සහතිකය ද තිබුණේය. ඉන්පසු පොලිසිය විසින් මෙකී ලියකියවිලි ඔස්‌සේ පරීක්‌ෂණ කරනු ලැබීය. විදේශීය කාන්තාව සමඟ විවාහ වී සිටි පුද්ගලයා ගැන ද තොරතුරු පොලිසියට ලබා ගැනීමට හැකි විය. ඉන්පසු තොරතුරු අනාවරණය වන්නේ මේ අයුරිනි.

රෝස්‌මරි පළමු වරට මෙරටට පැමිණ ඇත්තේ 2011 වර්ෂයේ දීය. එහිදී දකුණු වෙරළ තීරයේ පිහිටි එක්‌තරා සංචාරක කලාපයකදී ඇයට මෙරට තරුණයකු දැන හඳුනා ගැනීමට හැකි විය. ඇය එම තරුණයා සමඟ සමීප ඇසුරක්‌ පවත්වාගෙන ගියාය. යළි ස්‌විස්‌ටර්ලන්තය බලා ගිය රෝස්‌මරි යළි මෙරටට පැමිණෙන්නේ මෙම තරුණයා සමඟ විවාහ වීමේ බලාපොරොත්තුවෙනි. ඒ වන විට ඇය හැට හැවිරිදි වියේ පසුවූවාය. ඇය විවාහ වූයේ තිස්‌ හැවිරිදි තරුණයකු සමඟය. විවාහ වීමෙන් පසු මෙම යුවළ මුහුදුකරය ආශ්‍රිත ගම්මානයක පදිංචි වූහ. වසර තුනකට අධික කාලයක්‌ රෝස්‌මරි මෙකී තරුණයා සමඟ එකට ජීවත් විය. එම කාලය තුළදී ඇය මෙකී තරුණයාට ව්‍යාපාරයක්‌ කරගෙන යැම සඳහා වාහන තුන හතරක්‌ මිලදීගෙන දුන්නාය. නමුත් රෝස්‌මරිට මෙකී තරුණයා සමඟ වසර තුනකට වඩා එකට පවුල් කෑමට හැකි වූයේ නැත. තරුණයා රෝස්‌මරි හැර දමා යන්නට ගියේය. එහෙත් රොස්‌මරි මෙරට හැරදමා ගියේ නැත. ඒ වන විට ඇයට මෙරට මිතුරන් පිරිසක්‌ වූහ. ඇය ඔවුහු සමඟ සම්බන්දතා පවත්වාගෙන ගියහ. තරුණයා ද රෝස්‌මරි සමඟ කිසිදු සම්බන්දතාවයක්‌ පවත්වාගෙන ගියේ නැත. ඔහු තම ව්‍යාපාර කටයුතු කරගෙන ගියෝය. රෝසමරි මේ අතර අධිකරණයේ දික්‌කසාද නඩුවක්‌ද පවරණු ලැබීය. 

එම නඩුව විභාගවන අතරේ තමන්ගේ සියලු වත්කම් විවාහක සැමියාට ලබාදී ඇති බැවින් තමන්ට මෙරට ජීවත්වීම සඳහා නඩත්තු මුදලක්‌ ගෙවන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය. ඒ අනුව මෙකී කාන්තාවට නඩත්තු මුදලක්‌ ගෙවන ලෙස අධිකරණයෙන් විවාහක සැමියාට නියෝගයක්‌ කොට තිබුණි. ඒ අනුව මාස්‌පතා ඔහු එම නඩත්තු මුදල ගෙවීමට ද කටයුතු කළේය.

විදේශීය කාන්තාවගේ හදිසි මරණයත් සමඟ පොලිසියට පැමිණෙන ලෙස විවාහක සැමියාට දැනුම් දුන්නේය. මම කිසි දෙයක්‌ දන්නේ නැහැ. පොලිසිය එන්න කියූ නිසා තමයි ආවේ. අධිකරණයේ දික්‌කසාද නඩුවක්‌ විභාග වෙමින් පවතිනවා . අධිකරණයේදී තමයි හමුවන්නේ. ඊට එහා දෙයක්‌ මම දන්නේ නැහැ. මෙකී කාන්තාවගේ විවාහක සැමියා කීවේය. විදේශීය කාන්තාවගෙන් වෙන්වීමට හේතුව අධිකරණ වෛද්‍යවරයා මොහුගෙන් ඇසුවේය. "මාත් සමඟ ඇතිවූ බහින් බස්‌වීමක්‌ දුරදිග ගියා. ඊට පස්‌සේ මට කීවා නිවසින් පිටවෙන්න කියලා" විවාහක සැමියා කීවේය.

එහෙත් විදේශීය කාන්තාව සතුව තිබූ නඩුවට අදාළ ලේඛණ පරීක්‌ෂා කිරීමේදී එම ලේඛනවල සටහන්ව තිබුණේ වෙනත් කතාවකි. මොහු වංචනිකව මුදල් ලබාගෙන තමත් හැරදමා ගිය බව ඒවායේ සටහන්ව ඇත්තේය. ඒ විතරක්‌ නොව තමන් ලක්‌ෂ තිහ හතළිහේ වාහන මිලදීගෙන දුන් බවත් එම වාහන මිලදීගෙන දුන්නේ විවාහක සැමියාගේ නමට බවද එම ලේඛනවල සඳහන්ව තිබුණි. ඒ විතරක්‌ නොව තමන් තුළ පැවති කාරුණිකභාවය උපයෝගී කරගෙන විවිධ පුද්ගලයන් තමන්ගෙන් මුදල් ලබාගෙන එම මුදල් තමන්ට ලබා නුදුන් බව ඇය එම ලේඛනවල සටහන් කොට තිබුණේ නම් ගම් සහිතවය.

ස්‌ථානීය පරීක්‌ෂණයෙන් පසු අධිකරණ වෛද්‍යවරයා විසින් මියගිය විදේශීය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්‌ෂණය පවත්වනු ලැබීය. ඇගේ සිරුර අධිකරණ වෛද්‍යවරයා විසින් බාහිරව පරීක්‌ෂා කළේය. ගෙල සිර කොට තිබේ ද බාහිරව තුවාල තිබේ ද යන්න පිළිබඳ අධිකරණ වෛද්‍යවරයා ඉතා සියුම් ලෙස පරීක්‌ෂා කළේය. එහෙත් සිරුරේ කිසිදු. තුවාලයක්‌ දක්‌නට නොවීය. මෙකී කාන්තාව දියවැඩියා රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ඉතා හොඳින් ප්‍රථිකාර ලබාගෙන පාවිච්චි වී තිබුණි. මාත් සමඟ ඉන්න විටත් මෙයාට එක්‌ වතාවක්‌ හොඳටම සීනි අඩු වුණා. සිහිය පවා නැතිවුණා. නමුත් ඉන්සියුලින් එන්නත් කිරීමෙන් පසු තමයි සිහිය "ආවේ විවාහක සැමියා අධිකරණ වෛද්‍යවරයා ඉදිරියේ කීවේය.

දියවැඩියා රොගී තත්ත්වය වෙනුවෙන් හොඳින් පාලනය වූ කෙනකු හදිසියේ මිය යැම අධිකරණ වෛද්‍යවරයාටද ප්‍රශ්නයක්‌ විය.

"මෙකී විදේශීය කාන්තාවගේ මුත්‍රා පරීක්‌ෂණයක්‌ කළා. දියවැඩියාවට සම්බන්ධ රසායනික සංයෝග තියෙනවාද කියලා දැන ගන්න මෙම කාන්තාව අන්තිම දින කිහිපය තුළ දියවැඩියාව සඳහා නිසි අයුරින් ප්‍රතිකාර ලබාගෙන නොමැති බවට. අපට සැකයක්‌ ඇති වුණා.. සීනි ප්‍රමාණය දරුණු මට්‌ටමකට අඩු වෙන්න ඇති. ඒ අනුව තමයි මෙම කාන්තාව මිය යන්න ඇත්තේ. දේහයේ කොටස්‌ සම්බන්ධයෙන් පටක පරීක්‌ෂාවක්‌ කළා මුත්‍රා සාම්පල සම්බන්ධයෙන් විස්‌තරාත්මක පරීක්‌ෂණයක්‌ කළා. ඒ පරීක්‌ෂණ අනුව දියවැඩියා රෝගයේ සංකූලතාවය නිසා තමයි මෙම තැනැත්තිය මියගොස්‌ තිබුණේ. මෙය බැලූ බැල්මට සැක කටයුතු මරණයක්‌ වුවත් අවසානයේ එය ස්‌වාභාවික මරණයක්‌ බවට පත්වුණා "යෑයි විශේෂ්‍යඥ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.සී.පී පෙරේරා මහතා සඳහන් කළේය.

පශ්චාත් මරණ පරීක්‌ෂණය පැවැත්වීමෙන් පසු විදේශීය කාන්තාවගේ මළ සිරුර ඇගේ විවාහක සැමියාට ලබාදීමට කටයුතු කෙරිණි. ඔහු ඉතා උසස්‌ අයුරින් නිසි ගරුත්වය ලබා දී මෙම විදේශීය කාන්තාවගේ අවසන් කටයුතු සිදු කරනු ලැබීය.

මෙහි එන නම් ගම් මනඃකල්පිතය.

ලලිත් චාමින්ද

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook