‘සිඳූ’ ටෙලි නාට්‍යයේ හිං බබා සීයගේ නොඇසූ කතාව
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන නළුවෙක් වීම ගැන අද මොකද හිතෙන්නේ?
අපේ රටේ විතරක් නමෛයි, ලෝකයේ බොහෝ රටවල ජනප්‍රිය නළු නිළියන් විදියට වැජඹෙන්නේ ලස්සන තරුණ රූපයක් තියෙන අය. සීයලා ජනප්‍රිය වෙනවා අඩුයි.
ඒත් මම සමහර වැඩකටයුතුවලට මහලු නිවාසවලට යද්දී අවුරුදු 80-90 ආච්චිලත් මට කතා කරන්නේ “හීං බබා සීයා” කියලා.
මං හිතන්නේ ටෙලි නාට්‍යය ඉතිහාසයේ සුදු සීයාට (දූ දරුවෝ ටෙලි නාට්‍යයේ) පස්සේ සීයා නැවත ජනප්‍රිය වුණා නම් ඒ ‘සිඳූ’ ටෙලි නාට්‍යයේ ‘හීං බබා සීයා’. ඒ ගැන නම් තියෙන්නේ විශාල සතුටක්.
කලා ජීවිතයේදීයි, පෞද්ගලික ජීවිතයේදීයි වැඩියෙන්ම සතුටු වූ දවස උදාකරල දුන්නේ ‘හීං බබා’ සීයාද?
හිං බබා සීයයි ‘සිඳූ’ ටෙලි නාට්‍යයයි සිහිපත් කිරීමත් සතුටක් තමයි. ඒත් කලා ජීවිතයේදී වැඩියෙන්ම සතුටු වුණේ හා හා පුරා කැමරාවක් ඉදිරියේ රඟපෑ අවස්ථාවේ. හැරී විමලසේනගේ පෝය ඒකාංගික ටෙලි නාට්‍යයක හිඟන්නෙකුගේ චරිතයක් තමයි මම මුලින්ම රඟපෑවේ.
පෞද්ගලික ජීවිතයේදී වැඩියෙන්ම සතුටු වුණේ 1994 සැප්තැම්බර් 24 වැනිදා. එදා තමයි මම අප්පච්චි කෙනෙක් වුණේ.
වෘත්තීය ජීවිතයේදී විඳපු ලොකුම දුකත් නළුකමට පාර කියන සතුටුදායක ෙදෙවෝපගත සිදුවීමක් වුණා නේද?
ඔව්. මම 1986 ඉඳන් එක දිගට අවුරුදු 12ක් හමුදා සේවයේ යෙදී සිටියා. මම හමුදාවෙන් ඉවත් වුණේ රෝගී තත්ත්වයක් නිසා. මම ගෙදර විවේකීව ඉන්නකොට තමයි නළුකමට එන්න අවස්ථාව ලැබුණේ.
ඔබ ආබාධිත වූ ඒ දුක්බර අවස්ථාව සිහිපත් කළොත්?
මම ආබාධිත තත්ත්වයට පත්වුණේ යුද්ධයේදී නෙවෙයි. බෙල්‍ලේ ආබාධයක් තමයි මුලින්ම ඇතිවුණේ. එය කාලයත් සමග වැඩි වුණා. ඒ හින්දා රැකියාවෙන් ඉවත් වුණා. ඉවත් වෙලා ප්‍රතිකාර ලබමින් තමයි රඟපෑමට ආවේ. ඒ 2002දී. දැන් නම් සුවයි.
ආබාධිත තත්ත්වය මත රැකියාවෙන් ඉවත්වෙලා ප්‍රතිකාර ගනිමින් රඟපෑමට ආවේ කලාවට ඇති ආසාව හින්දනේ. ඒ ආසාව තරුණ කාලේ ඇති නොවීම ගැන දැන් දුකක් නැද්ද?
ඇත්තටම පුංචිම කාලේ ඉඳන් මම කලාවට ආසයි. කොටින්ම මම චිත්‍රපට පිස්සෙක්.
ඒත් මම තරුණ වයසකදීවත් පුංචි කාලෙදීවත් නළුවකු වෙන්න සිහින දැක්කේ නැහැ. හමුදා සේවයේ ඉන්න කාලේ සුගත් සමරකෝන්ගේ “උතුරේ රාහුල හිමි”, “කමාන්ඩෝ දියසේන” වැනි නාට්‍ය බලන්න ලැබුණා. ඒ අවස්ථාවේදී තමයි මටත් නළුවෙක් වෙන්න ඇත්නම් කියලා හිතුණේ.
ද ඒත් හමුදා නිලධාරියෙක් විදියට ගෙවන කාර්යබහුල ජීවිතයත් එක්ක නළුවකු වෙන්න බැරිවීම ගැන දුකක් හිතෙන්න ඇති…?
එහෙම හිතුණේ නැහැ. රඟපාන්න ආසාවක් හිතේ ඇතිවීම විතරයි සිදුවුණේ.
රැකියාවෙන් ඉවත්වෙලා ඉන්නකොට දැනුණ දුක පාළුව එක්කම නළු හීනය මතුවුණාද?
රැකියාවෙන් ඉවත්වීම මට දුකක් ගෙන දුන්නේ නැහැ. බිරිඳයි දරුවයි එක්ක කාලය ගෙවන්න ඉඩ ලැබුණු හින්දා සතුටක් තමයි ඇතිවුණේ. ඒ කාලයේ නවක නළුවන් අවශ්‍යයි කියලා පත්තරේක පළවූ දැන්වීමක් දැකලයි මමත් ඒ සම්මුඛ පරීක්ෂණයට යන්න හිතුවේ.
එතැනදී තමයි අර මුලින් කියපු පෝය ඒකාංගික නාට්‍යයට මාව තෝරාගත්තේ.
ආදරය හින්දා විඳි සතුට හා දුක ගැනත් අපි කතා කරමු.
ආදරය හින්දා දුකක් නම් විඳලා නැහැ. මගේ පෙම්වතිය මගේ බිරිඳ වෙලා මගේ ජීවිතයට ආවේ 1992-12-10 වැනිදා. අප 25 වැනි විවාහ සංවත්සරය පැවැත්වුණේ පසුගිය 10 වැනිදා.
– ආරියවංශ කුලතිලක