ඒක ඉතින් සුජිත් ඉන්නේ සිංගප්පූරුවේ නිසා තමයි. ඒ නිසා හැම වෙලේම එක්කෝ එයා ලංකාවට එනවා.
එහෙම නැත්නම් මායි චූටි දුවයි සිංගප්පූරුවට යනවා. ඉතින් ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ දුවට එහේ ඉස්කෝලේ දාන්න ඕනේ කියලා දුවයි මමයි එහාට ගියා. හැබැයි එහේ අවුරුදු හතෙන් පස්සේ තමයි උගන්නන්නේ. ඒ වෙනකන් ඉස්කෝලේ Daycare. ඉතින් මමයි සුජිතුයි තීරණය කළා දුවව මූලික අධ්‍යාපනයට ලංකාවේ දාන්න ඕනේ කියලා. ඒ නිසා අපි ආයෙමත් ලංකාවට ආවා.
ඒ කියන්නේ දැන් දුව ඉගෙන ගන්නේ ලංකාවේ?
ඔව්... එයා දැන් ඉගෙන ගන්නේ ලංකාවේ
හුඟ කාලයකට පස්සේ ‘පිනි’ ටෙලි නාට්‍යයේ උදාරි ආයෙත් රඟපානවා. කොහොමද ‘පිනි’ ටෙලිනාට්‍යයට ආරාධනා ලැබුණාම හිතුණේ?
පිනි නාට්‍යයට මට ශාන්ත සොයිසා මහත්තයා කතා කළාම මම හරිම කැමැත්තෙන් ඒක බාර ගත්තා. මම හරිම කැමති තිර රචකයෙක් තමයි මහේෂ් රත්සර මද්දුමආරච්චි කියන්නේ. ඉතින් ශාන්ත අයියා කතා කළාම මට ලොකු භාග්‍යයක් වුණා ඔහුගේ ටෙලානට්‍යක රඟපාන්න ලැබීමත්. ඒ නිසා මම දෙපාරක් හිතන්නේ නැතිවම එක පාරටම පිනි නාට්‍යයට කැමැත්ත දුන්නා. ඒක ස්වාධීන රෑපවාහිනි නාලිකාවේ සතියේ දිනවල රාත්‍රි 8.30 දැන් විකාශය වෙනවා. ඒක හරිම හරි ලස්සන ටෙලි නාට්‍යයක්.
මේ දවස්වල සුජිතුත් ලංකාවට ඇවිත්ද?
ඔව්.. සුජිත් ලංකාවට ආවා. විශේෂයෙන්ම චූටි දුවගේ ඉස්කෝලේ වැඩවලටත් එක්කම තමයි එයි මේ පාර ආවේ. කොහොමටත් සුජිත් මේ දවස්වල හැම සිකුරාදාවකම ලංකාවට එනවා. ආයේ ඉරිදා යනවා. සුජිත්ගේ විභාග කටයුතු ඉවර වුණා. ඒ නිසා ටිකක් මේ දවස්වල නිවාඩු තියෙනවා. ඒ නිසා මේ සැරේ සති දෙකක් එක දිගට එයා නිවාඩු අරගෙන ලංකාවේ නතර වුණා.
උදාරි කොහොමද සිංගප්පූරුවේ ගත කරන ජීවිතේ?
ඒ ජීවිතේ හරිම සරලයි. එහේදී තවත් එක සාමාන්‍ය මනුස්සයෙක් විතරයි. එහෙට මම ප්‍රසිද්ධ දන්න කියන චරිතයක් නොවේ. එහේදී මම තවත් එක මවක්, බිරියක් විතරයි. එහේ පරිසරය වුණත් හොඳයි. එහේ ඉන්න කාලෙදී හරිම විවේකීව ගතකළා.
ඔයාගෙ වැඩවලට දරුවගේ වැඩවලට සුජිත්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ඇත්තටම සුජිත්ගේ ඉස්සර තිබුණ කාර්යබහුල ජීවිතය ඔහු ටිකක් මේ වෙද්දී අඩුකරලයි තියෙන්නේ. සුජිත් හැමවෙලේම මූලිකත්වය දෙන්නේ මටයි දුවටයි තමයි. කොච්චර කාර්යබහුල ශල්‍ය වෛද්‍යවරයෙක් වුණත් ඔහු රෝහලේ වැඩ ඉක්මනට ඉවර කරලා ගෙදර එනවා. රෝහලේදී පොඩි විවේකයක් ලැබුණොත් එයා ගෙදර ඇවිත් අපි දෙන්නා එක්ක ඉඳලා ආයේ හොස්පිට්ල් එකට යනවා. අපේ ගෙදර ඉඳන් හොස්පිට්ල් එකට යන්න එන්න තියෙන්නේ ඇවිදින දුරක්. ඒ නිසා නිවාඩුවක් ලැබුණගමන් කෑම වේලට හරි ගෙදර ඇවිත් තමයි එයා යන්නේ. මගේ ජීවිතේ යම්කිසි සාර්ථකත්වයක් තියෙනවානම් ඒ සාර්ථකත්වය පිටිපස්සේ ඔහුගෙයි මගෙයි අනොන්‍ය අවබෝධය කියන දේ ගොඩක් ඉදිරියෙන්ම තියෙනවා.
කොහොමද දැන් චූටි දූ?
දූගේ නම ශෙනාර්යා. ඉස්සර චූටි කාලේනම් එයා දඟයි. කියන දේ අහන්නේ නැතිව දඟවැඩ කළා. දැන් එහෙම නෑ. දැන් එයාට තේරෙනවා. හැබැයි චූටි දූ හරි හුරතල්. එයා හරි ආසාවෙන් ඉන්නේ ඉස්කෝලේ යන්න. අක්කා කෙනෙක් වෙන්න එයා ආසයි. චූටි චූටි ළමයි දැක්කම එයා හරිම ආසාවෙන් එයාලව බලාගන්නවා.
එයා වැඩිපුරම ආස මොනවටද?
එයා හරි ආසයි මියුසික්වලට. එයා ගෙදරදී නටනවා. සින්දු කියනවා. අම්මිගේ කටහඬට වඩා වගේ කටහඬ ලස්සනයි නේද කිය කියා එයා අහනවා. එයා මාව ගෙදරදී මේක්අප් කරනවා. එක එක කොණ්ඩ මෝස්තර දානවා. අර චූටි අත්වලින් කොණ්ඩේ අතගාද්දී හරී සනීපයි. ඉතින් චූටි දුවගේ ලෝකේ හරි සුන්දරයි. මාත් එයත් එකක් ඉඳිද්දී හරිම පොඩි දරුවෙක් වගේ වෙනවා. චූටි දුවගේ හොඳම යාළුවා තමයි මම. චූටි දුව හැමදේම ගවේෂණය කරනවා. එයා අපි කියන පලියට කිසිම දෙයක් විශ්වාස කරන්නේ නෑ. ඒ දේවල් කොහොමද වෙන්නේ කියලා එයා හොයලා බලනවා. එයාට බොරුවක් කියලා අපිට බේරෙන්න බෑ.
චූටි දුවත් කැමැති එකේ දැන් දුවව අක්කා කෙනෙක් කරන්නත් කාලේ හරි නේද?
එයාටනම් අක්කා කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඉතින් මේ බාර ගත්ත නිර්මාණ ටික අතරමං කරන්න හොඳ නැහැනේ. ඒ නිසා ඒවාට සාධාරණයක් කරලා ඒ ගැනත් හිතන්න ඕනේ. මම හිතනවා තව ටික කාලයක් දුවට එයාගේ අම්මගෙයි තාත්තගෙයි හුරතලේ තනියම අවශ්‍යයි කියලා. එයාගෙන් අහපුවහම අපි මල්ලියෙක් හරි නංගියෙක් හරි ගේමුද කියලා එයා මුලින්නම් එපා කිව්වා. දැන් එයා කියන්නේ ඕන කෙනෙක් ගේන්න බැහැයි අම්මිගේ ආදරේ දෙන්න නම් බෑ කියලා. ඉතින් චූටි දූගේ හුරතලේ වෙනුවෙන් අපි තව ටික කාලයක් ඉන්නවා.