සිංහල සිනමාවේ ස්‌වකීය රංගන මුද්‍රාව තබන දිල්හානි ඒකනායක ජනප්‍රියත්වයෙන් මෙන්ම සම්මානනීයත්වයෙන්ද උපරිමය කරා ගමන් කළ ශිල්පිණියක්. දශක දෙකහමාරකට ආසන්න රංගන දිවියක අත්දැකීම් සපුරාගෙන සිටින මෙම සොදුරු ශිල්පිණිය එදා සිට අද දක්‌වා ලද අත්දැකීම් හකුළුවාලමින් අප හා සංවාදයකට එළැඹුණා.
දිල්හානි ඔබ රංගනයට පිවිසෙන සමයට සාපේක්‍ෂව ගත්කල අද රංගනයට පිවිසීම පහසු දෙයක් ලෙස ඔබ දකිනවාද ?
මම ඔය තත්ත්වය දකින විදිහ වෙනස්. කාලය ඉස්‌සර හා අද ගත්තොත් කලා ක්‍ෂේත්‍රය විතරක් නෙවෙයි මුළු ලෝකයම වෙනස්. නමුත් කලාව පැත්තෙන් අරගත්තොත් එදා කලා ක්‍ෂේත්‍රයට පැමිණීමත් හරිම දුෂ්කරයි. ඒ තුළ රැඳී සිටීමත් හරිම අපහසුයි .අද ක්‌ෂේත්‍රයට පැමිණීම හරි ලේසි දෙයක්. හැබැයි පවතින්නේ නැති පැත්තට තමයි වැඩි බර තියෙන්නෙ.
මේ තත්ත්වයට හේතු පහදනවා නම් ?
ඒකට හේතුව ලෙස මම දකින්නේ කරන දේවල්. අපේ කාලයේ අපි කරපු දෙවල් අදටත් මිනිස්‌සුන්ගෙ මතකයේ තියෙනවානේ.
නළු නිළියන් වගේම නිර්මාණත් ප්‍රේක්‌ෂකයා වැළඳ නොගන්නෙ ඒවායේ තියෙන බංකොලොත් බවද ?
නිර්මාණවල බංකොලොත් භාවය එක හේතුවක්. අනික තරගකාරිත්වය. එදා නිර්මාණයක් රසවිඳින්න. වෙලාවක් යොදාගෙන මුදල් ගෙවල සිනමා ශාලාවකටම යන්නම වෙනවා. එතැනදි තමයි ඔවුන් සිනමා නළු නිළියන් දකින්නෙ. නිර්මාණයක හැර සාමාන්‍ය ජීවිතයේ සිනමා නළු නිළියන් මිනිසුන්ට දකින්න ලැබුණෙත් නැහැ. අද තත්ත්වය වෙනස් . අද
රූපවාහිනි චැනල් බොහෝ සංඛ්‍යාවක නිරන්තරයෙන්ම ටෙලි නාට්‍ය විකාශය කරනවා. නිතරම මිනිසුන්ට නළු නිළියන් දකින්න ලැබෙනවා. හැම දෙයක්‌ම සාමාන්‍ය වෙලා. දැන් බලන්න තමන්ගේ උපන්දිනය, විවාහය, දරුවෙක් ලැබෙන එක කියන දේවල්. ඒවා පුද්ගලයෙකුගේ ජීවිතයේ පෞද්ගලික දේවල් නේ. එදා අපිට ඒ පුද්ගලිකත්වය රැකගන්න පුළුවන් වුණා . හොදම උදාහරණය මම විවාහ වෙද්දි කිසිම පත්තරයක අපේ මංගල ජායාරූපයක්‌වත් පළවුණේ නැහැ. අද වෙද්දි ක්‍ෂෙත්‍රයේ ඉන්න අයගේ ජීවිත වල සෑම කටයුත්තක්‌ම ප්‍රසිද්ධියට පත්වෙනවා. සියලුම දේවල් මුදලට තීරණය වෙන කාලයක මේ දේවල් ගැන කාටවත් දොස් කියල ඵලකුත් නැහැ. මේක තමයි අද පවතින තත්ත්වය.
ළමා වියේ දිල්හානි නිළියක විමේ සිහිනය දෑස්‌වල රඳවාගෙන සිටි දැරියක්‌ද ?
මම නිළියක් වෙන්න කවදාකවත් සිහිනයක් දැක්‌කේ නැහැ. අපේ ළමා අවධියේ අපේ ලෝකය පුංචියි. ඇත්තම කියනව නම් ඒ පුංචි ලෝකය ඇතුළේ ලොකු ලොකු බලාපොරොත්තු සිහින තිබුණේ නැහැ. මම නිළියක් වෙන්නෙ අහම්බෙන්.
පළමු වරට සිනමා කැමරාවක් ඉදිරියේ රංගනයේ යෙදුණු දවස තැතිගැන්මකින් පිරි මොහොතක්‌ද ?
තැති ගැන්මක් කියන්නේ යසපාලිත නානායක්‌කාර මහත්තයා මාව මේ චරිතයට පුහුණු කළා. ඒ කියන්නේ පෙර පුහුණුවීමක් තිබුණා. ඒ නිසා මම දැනගෙන හිටියා කැමරාව ඉදිරියේ මම කරන්න ඕනෑ මොනවද?. මට හමුවන නළු නිළියන් කවුද යන මූලික කරුණු ටික.
මෙම පෙර පුහුණුව ලැබෙන්නේ ඔබගේ නවක වීම නිසාද ?
නැහැ. මගේ අලූත් බව නිසාම නෙවෙයි. පරණ අධ්‍යක්‌ෂවරුන්ගේ ක්‍රමය ඒකයි. ඒ කාලේ පෙර සූදානම කියන එක ඉහළින්ම තිබුණා. සිංදුවක් රූපගත කිරීමකට යන්න බැහැ මුල ඉඳන් අග වෙනකම් ගීතය කටපාඩම් වෙන්නෙ නැතිව. ගීතයකට නර්තනයේ යෙදෙන්නෙ ගීතය කටපාඩමින් හිතේ රඳවාගෙනයි. යසපාලිත නානායක්‌කාර මහත්මයාගේ චිත්‍රපට හයක විතර මම රගපෑවා. ඒ සියලුම චිත්‍රපටවලදීම මම පෙර පුහුණුවකින් පසුවයි රඟපෑවේ. රගපෑමේදී විතරක් නෙවෙයි හඬකැවීම්වලදීත් ඒ පුහුණුව ලබාදෙනවා.
පෙර පුහුණුවකින් පසුව පළමු වරට සිනමා කැමරාවකට මුහුණදුන් ඔබ පළමු දර්ශනය නියමාකාරයෙන් රඟපෑ නිළියක් වූවාද ?
නැහැ. මගේ පළමු දර්ශනයෙන්ම මම අසාර්ථකයි. 1988 ජූලි මාසයේයි මගේ රංගන දිවියේ පළමු රූපගත කිරීම තිබුණේ. මට රඟපාන්න තිබුණේ ප්‍රෙඩී සිල්වාත් එක්‌ක. පළමුවැනි දර්ශනය රූගත කරද්දි පෙර පුහුණුවීමට වඩා කැමරාව ඉදිරියේ ඔහු ඒ කොටස රගපෑවේ හරිම වෙනස් විදිහට. මට ඒ වෙලාවේ මේ චිත්‍රපටයක් කියල අමතක වුණා. අලුත් අය නිසා අපි මේ දේවල් දැකල නැහැනේ. මම බඩ අල්ලාගෙන හිනා වෙන්න පටන් ගත්තා. පළමුවැනි දර්ශනය අසාර්ථක වුණේ ඒ විදිහට. මම ඒ අත්දැකීම ගැන සතුටු වෙනවා. ඒක ලොකු අධ්‍යාපනයක්. දර්ශන තලයේ කැමරාව ක්‍රියාත්මක වෙනවාත් එක්‌කම නළුවා නිළිය කියන කෙනා සම්පූර්ණ වෙනස් කෙනෙක් බවට පත්වෙනව කියන පළමු පාඩම මම එදා ඒ සිදුවීමෙන් වටහා ගත්තා.
ඉන් ඉක්‌බිතිව වේගයෙන් ඔබ කරා ජනප්‍රියත්වය මෙන්ම චිත්‍රපටත් ගලාඑනවා. මේ අත්දැකීම වින්දේ කොහොමද ?
ජනප්‍රියත්වය කවදත් මට අතිවිශේෂ දෙයක් නෙවෙයි. ඒක මගේ ජීවන රටාවේ විදිහ වෙන්නැති. මම හැමදාම සතුටින් සැහැල්ලුවෙන් හිටිය කෙනෙක්. ඒ කාලෙ චිත්‍රපටවල රගපාන්න යන්නෙ පොඩි දරුවෙක් විනෝද චාරිකාවක් යනවා වගේ ප්‍රීතිමත් හැගීමකින්. හැබැයි මම මේ හැම දෙයක්‌ම රස වින්ද ජනප්‍රියත්වය වුණත් මට දැනුණේ එහෙමයි. අද මට පිරිසක් කැමැති වුණා නම් තවත් පිරිසක් හෙට මා ගැන දැන ගන්නවා. මුළු රටක්‌ම එක රැයකින් මාව දැනගන්නේ නැහැනේ. මා කරා පැමිණි ඒ දේවල් මම වින්දා.
නවක නිළියක ලෙස එදා ඔබට සිනමාවේදී හමුවුණ සුපිරි තරු ගැන සිහි කළොත් ?
මුලින්ම අජිත් ජිනදාස, ජීවන් අයියා, රංජන් අයියා, සනත් ගුණතිලක යන ජනප්‍රිය ප්‍රවීණ ශිල්පීන් සමඟ මට රගපාන්න අවස්‌ථාව ලැබුණා.
නවකයෙක් ලෙස එදා ඔබ ඔවුන් හා රඟපෑම තුළින් ඔබ කිසියම් වූ දැනුමක් ලබාගත්තාද ?
මම කාගෙන්වත් ඉගෙනගන්න ආපු කෙනෙක් නෙවෙයි. කවදාවත් කාවවත් වගේ වෙන්න මට ඕනෑවුණේ නැහැ. හැබැයි මම ඔවුන්ගේ හොද දේවල් ඔවුන් ගේ රගපෑම් නර්තනයන් මෙන්ම රංගන අත්දැකීම් වැනි දේ රසවින්ද කෙනෙක්.
ඔබගේ මුල් යුගයේ සිනමා රංගනයන් දෙස බලද්දි ඔබට දැනෙන්නේ මොනවගේ හැගුමක්‌ද ?
අතීතය දිහා හැරිලා බලද්දි අද තමයි ඒ කාලෙ අඩුපාඩු පෙනෙන්නේ. මම හිතන්නේ එදා මගේ රංගනය ඒ තරම් හොද තැනක තිබුණේ නැහැ කියලා.
ඒ පිළිබඳ ඔබට තියෙන්නේ පසුතැවීමක්‌ද ?
රගපෑම කියන එක තියෙන්නේ ජීවිතයේ විශාල වෙනස් තැනකනේ. අතීතයේ මගේ රංගනයේ අඩුපාඩු මම අද දුටුවත් ඒ ගැන මම පසුතැවෙන්නේ නැහැ. එහෙම පසුතැවෙන්න හේතුවක් නැහැ කියලයි මම හිතන්නේ. කාලය හා අත්දැකීම් සමගයි ඕනෑම කෙනෙක් තමන් කරන දෙය පිළිබද පරිණත තත්ත්වයට පත්වෙන්නේ.
වාණිජ සිනමාවේ දුර ගමන් යමින් සිටි දිල්හානිට එදවස කලාත්මක සිනමාවේ රගපාන්න වුවමනාවක් පහළ වී තිබුණාද ?
මම හැමවෙලාවෙම ලැබුණු දේත් එක්‌ක කටයුතු කරගෙන ගිය කෙනෙක්. අනික මට වෙනත් දෙයක් ගැන හිතන්නවත් කාලයක් නැති තරමට වැඩ තිබුණා. සමහර කාලවල අවුරුද්දකට චිත්‍රපට විසි ගාණක රඟපාලා තිබුණා .
නමුත් ඔබ පසුකලෙක කලාත්මක සිනමාවට පිවිසෙනවා. එතැනදී ඔබට දැනෙන වෙනස මොකක්‌ද ?
වාණිජ සිනමාව ලෙස හැදින්වෙන විනෝදාස්‌වාදය සහිත චිත්‍රපටවල තියෙන්නෙ සාමාන්‍ය ජීවිතයට වඩා ඉහළ තලයක දේවල්. උදාහරණයක් පවසනවා නම් සාමාන්‍ය ජීවිතයේදී අපි කොණ්‌ඩ මෝස්‌තර දාගෙන විසිතුරු ඇඳුමෙන් සැරසිලා ගෙදර ඉන්නෙ නැහැනේ. ගස් වටේ නටමින් ගීත ගයන්නේ නැහැනේ. මම හිතන්නේ ඒක කරන එක තමයි අමාරු. නමුත් කලාත්මක සිනමාවේදී අපට හමුවන්නේ සාමාන්‍ය ජීවිතයේ අපේ ජීවිත ක්‍රියාකරන විදිහ. ඒක රසිකයාට දැනෙනව වැඩියි.
දිල්හානි චරිත තෝරා බේරාගෙන රගපෑ නිළියක්‌ද ?
ඉස්‌සර නම් නැහැ.
අද ඔබ චරිතයක් රගපාන්න භාරගන්න පෙර සලකා බැලෙන දේවල් මොනවාද ?
ඇත්තටම මම බලනවා නිර්මාණයට හොඳට මුදල් යොදවල හොද තත්ත්වයෙන් කෙරෙනවද කියල. ඇඳුම් පැළඳුම් ටික ප්‍රවාහන පහසුකම් නවාතැන් පහසුකම් කෑම බිම ටික හරියට ලැබෙනවද යන කරුණු. ඇතැම් අය නිර්මාණයක් අඩු මුදලක් වියදම් කරල කරන්න බලනවනේ. මොකද එහෙම දුක් විඳීම ගැන මම එකග වෙන්නේ නැහැ. සිනමාව එසේ විය යුතු නැහැ. අනිත් කාරණය දැන් මගේ වයසට ගැලපෙන චරිතයක්‌ද?. මට රඟපාන්න තියෙන්නේ කියන එක. ඉහත මා කියූ කාරණා හොද මට්‌ටමෙන් තියෙනවා නම් මම රගපාන්න එකග වෙනවා.
මෑත කාලයේ පැවැත්වුණු රියෑලිටි වැඩසටහනක ඔබ විශේෂ භූමිකාවක් කළා.එයින් ඔබ බලාපොරොත්තු වුණේ කුමක්‌ද ?
ඒක තනිකරම මගේ වෘත්තීයමය කටයුත්තක්. ඒ වෘත්තීයමය කටයුත්ත යම්කිසි ප්‍රමිතියකට අනුව කරගෙන යන්න අපි උත්සාහ කළා. තවදුරටත් පැහැදිලි කරනවා නම් අද මම ඔබත් සමග මේ සාකච්ඡාව පවත්වන්නේ මගේ වෘත්තියට අදාළ කටයුත්තක් ලෙස නේ. අපේ කතාබහෙත් මේ වැඩසටහනෙත් වෙනස අපේ මේ සාකච්ඡාව වෙනුවෙන් මට මුදල් ලැබෙන්නෙ නැහැ. එම කටයුත්ත වෙනුවෙන් ඔවුන් මට ලොකු වෘත්තීයමය වටිනාකමක් ගෙවනවා. එතැනදී අපේ වගකීම ගන්නා මුදලට ගැලපෙන හොද සේවයක් සැලසීම. ඒ හැර මේ කටයුතු මේ දේවල් අපේ ජීවිතවලට සම්බන්ධ නැහැ.
ධම්මිකා සුරංජි පතිරණ