Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

බිරිදට වඩා තැන දුන්
ට්‍රම්ප් ජනපති තාත්තාගේ සුරතල් දියණිය

ලෝ කය බිහිවුණේ මවගේ කිරිවලින් හා හිරුගේ රශ්මියෙන් බව අප අසා ඇත්තෙමු. එපමණක් නොව මව් සෙනෙහස ගැන අප්‍රමාණවූත් කවි, ගී ද අසා ඇත්තෙමු. එහෙත් පිය සෙනෙහස ගැන ලියැවුණු කවි ගී වැල් නම් ඇත්තේ අතලොස්සකි. උත්තරීතර පීතෘත්වය ගැන කෙරෙන කතාබහත් බෙහෙවින් අඩුය. එවැනි පසුබිමක මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාටකය සිහිපත් වන්නේ නිතැතින්මය.

එහි පීතෘ ප්‍රේමය කදිමට විග්‍රහ කෙරේ. ගල් ලෙන බිඳ බිරිය හා දියණිය පලා යද්දී සිංහයා හඬා වැලපෙන්නේ අන් කිසිවකු ගැන හෝ නොව සිය දියණිය සිවලී ගැන සොවින්ය. සුරතල් දියණිය, මොළකැටි වදනින් මා සනසන්නිය. අහර පිසින්නිය.. ඇයි සුදු දුවනිය...නුඹවත් නොසිටියේ...? පියකුගේ සිතෙහි තම දියණිය අරභයා උපන් දාරක ප්‍රේමයට එය කදිම නිදසුනකි.



මේ පීතෘ සෙනෙහස ගැන යළි සිහිපත් වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ ඔහුගේ වැඩිමල් දියණිය ඉවන්කා ට්‍රම්ප් අතර ඇති අපරිමිත සබැඳියාව පිළිබඳ ඊයේ පෙරේදා බටහිර මාධ්‍ය අතර වැඩි අවධානයක් යොමුවීම නිසාවෙනි.

71 හැවිරිදි අමෙරිකානු ජනාධිපතිවරයාගේ ජීවිතයේ වැඩිම පංගුකාරිය බවට පත්වී සිටින්නේ අන් කිසිවකු හෝ නොව ඔහුගේ පළමු විවාහයෙන් උපන් වැඩිමල් දියණිය ඉවන්කාය. 35 හැවිරිදි ඉවන්කා සිය පියාගේ උපදේශිකාවක ලෙස සේවයට එක්වුයේ ඔහු ජනාධිපති පදවියේ දිවුරුම් දුන් දිනයේදීමය. එතැන් සිට ගතවු කාලය තුළ ජනාධිපතිවරයාගේ රාජකාරි ජීවිතයේ වැඩිම පංගුකාරිය බවට පත්වී ඇත්තේ ඔහුගේ තුන්වැනි හා තරුණ බිරිය මෙලනියා නොව පළමු විවාහයෙන් උපන් වැඩිමල් දියණිය ඉවන්කා බව කවුරුත් දනිති.

පසුගිය ජූලි මාසයේ දිනෙක ‘ද නිව්යෝක් ටයිම්ස්‘ පුවත්පත සමග ඩොනල්ඩ් ට්‍රම්ප් සම්මුඛ සාකච්ඡාවක නිරතව සිටියදී සිදුවූ එක්තරා සිදුවීමක් එම සාකච්ඡාව මෙහෙයවූ වාර්තාකරු මෙසේ සටහන් කළේය.

‘ඉවන්කා මෙනෙවිය සිය කුඩා දියණිය සමග ජනපතිවරයා සමීපයට පැමිණ ඔහු ඇමතුවාය. ඒ මොහොතේ ඔහු මවිසින් අසන ලද පැණයකට පිළිතුරු සපයමින් සිටියේය. ඒ පැණය ඔහු විසින් තනතුරෙන් නෙරපා දැමූ එෆ්.බී.අයි. අධ්‍යක්ෂ ජේම්ස් කොමේ අරභයා කරනු ලැබූ එකකි. ජනපතිවරයා සිය කතාව මඳකට නවතා දියණිය ඇමතුවේය.

‘හායි..බබා කොහොමද..?‘

‘නිකමට ඔබ බලලා යන්නයි ආවේ...‘ දොර අසළ සිටගෙනම ඇය පිළිතුරු දුන්නාය.

ඉන්පසුව එම සම්මුඛ සාකච්ඡාවේ ඉතිරි භාගය සිදුවූයේ ඉවන්කා සහ ඇගේ දියණියත් එතැන සිටියදීමය. ඔවුන් එතැනින් ඉවත් කිරිමට ජනපතිවරයාට අවශ්‍ය නොවීය. කෙතරම් වැදගත් සාකච්ඡාවක් වුවත් ජනපතිවරයා විසින් ඒ මොහොතේ සිය දියණිය තමා සමීපයේම රඳවා ගැනීමට කටයුතු කිරිම වාර්තාකරුගේ විමතියට ලක්වූවකි.

ඒ මාසයේදීම තවත් දිනෙක ‘ද වෝල් ස්ට්‍රීට් ජර්නල්‘ පුවත්පත සමග ජනපති ට්‍රම්ප් සම්මුඛ සාකච්ඡාවක නිරතව සිටියදී ඇය ඔවුන් වෙත පැමිණියාය.

‘ඔබ මෙතැන ඉන්න බව දැනගන්න ලැබුණා. මම නිකමට ආවේ...‘ ඇය ජනපති පියාට එසේ කීවාය.

‘ඕනෙනම් ඔයාත් ඉන්න...‘ ඇයට උණුසුම් හාද්දකින් සංග්‍රහ කළ ජනපතිවරයා එසේ කීවේය.

ජනපති ට්‍රම්ප්ගේ පුවත්පත් සාකච්ඡාවලදී පමණක් නොව ඉතා රහසිගත රාජ්‍ය සාකච්ඡාවලදී පවා දියණිය ඉවන්කා ඔහු සමීපයේ අසුන් ගැනීමට පුරුදුවී සිටින්නීය. ආදරණීය පියකු සේ ඔහු ඒ සියල්ල විඳ දරා ගනිමින් තම දියණියට රිසිසේ තමා සමීපයේ ගැවසීමට ඉඩ ලබා දෙයි.

පසුගියදා ජනපතිවරයා විසින් උතුරු ඩැකෝටාවේ බදු ක්‍රමවේදය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධව සිදුකළ දේශනය අතරතුර සිය දියණිය ගැන සඳහන් කිරීමට ද අමතක නොකළේය. ඇය ඒ මොහොතේ සිටියේ වේදිකාවෙන් පහළය.

‘ඒක නෙවෙයි..බලන්න ඉවන්කා දිහා..හැමෝම එයාට ආදරෙයි...‘

ඉන්පසුව ඔහු දියණිය දෙසට හැරුණේය.

‘එන්න ඉවන්කා..උඩට එන්න..මං එයාව වේදිකාවට කැඳවන්නද...? ඔහු අමුත්තන්ගෙන් එසේ ඇසුවේය.

‘මං මේ සංචාරයට එද්දී ඉවන්කා මා වෙත ඇවිත් ඇහුවා තාත්තේ මටත් ඔයා එක්ක එන්න පුළුවන්ද කියලා..මං ආසයි එයා මට තාත්තා කියලා කතා කරද්දී. ඉතිං මං කිව්වා හා ඉතිං එන්න කියලා.‘

ඒ මොහොතේ දියණිය ඉවන්කා වේදිකාවට පැමිණ සිටියාය.

‘මෙතැනට පැමිණීම සතුටක්..‘ ඇය පැමිණ සිටි අමුත්තන්ට එසේ කීවාය.

කෙතරම් වැදගත් කතාවක් වුවත් ජනපති ට්‍රම්ප් ඊට සිය දියණිය ඉවන්කා ඈඳා ගැනීම ගැන ඔහුගේ අමාත්‍ය මණ්ඩලය හා සෙසු අමුත්තන් අතර ඇත්තේ විමතිය මුසු හැඟීම් සමුදායකි.

අමෙරිකානු ජනාධිපතිධුරය කෙතරම් බැරෑරුම් තනතුරක් වුවත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සරළ බවත්, දියණිය ඉවන්කා කෙරෙහි ඇති සෙනෙහසත් සිය රාජකාරිය හා මුසුකරගන්නා ආකාරය ඉතා සිත්ගන්නා සුලු බව එරට දේශපාලන විචාරකයන්ගේ අදහසය.

එසේවුවත් ජනපතිවරයා සිය රාජකාරි කාලය තුල දියණිය ඉවන්කාට මෙවැනි අවධානයක් සහ සැළකිල්ලක් යොමු කිරීම ඇතැමුන්ගේ විවේචනයට භාජනය වූ අවස්ථා නැත්තේ නොවේ. එවැනි සිදුවීම් අරභයා ජනපතිවරයා තරමක් ආවේගශීලීව මෙසේ කියයි.

‘එයා මගේ දුව..එයාට ඇති තරම් නිදහස තියෙනවා මගේ වැඩවලට සම්බන්ධ වෙන්න..‘

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනපති සටනේ පුරෝගාමී චරිතයක් බවට පත්වී සිටි ඉවන්කා ඔහු ජනපති පදවියේ දිවුරුම් දීමෙන් පසුව ධවල මන්දිරයේ පාලනය සියතට ගත්තාය. රාජ තාන්ත්‍රික මට්ටමේදී ඇය ඔහුගේ උපදේශිකාවක ලෙස කටයුතු කළත්, ජනපතිවරයාගේ දෛනික ජීවිතයේ සෑම කාර්යකදීම ඉවන්කාට වැඩි තැනක් ලැබීම ගැන ඔහුගේ සෙසු කාර්ය මණ්ඩලයේ ඇත්තේ තරමක අප්‍රසාදයකි. ඔවුන්ට අනුව නම් දියණිය ඉවන්කා සිය සීමාව ඉක්මවා කටයුතු කරන්නීය.

ඉවන්කා අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක වත්කමකට උරුමකම් කියන ඩොනල්ඩ් ව්‍යාපාර ජාලයේ වැඩිම කොටස්කාරිය බවට පත්වූයේ ඇගේ පාසල් වියේදීමය. සිය ව්‍යාපාරයේ අධ්‍යක්ෂ තනතුරකට ඩොනල්ඩ් සිය දියණිය ඉවන්කා පත් කරද්දී ඔහු දෙවැනි වරටත් විවාහවී සිටියේය. එහෙත් පෙර විවාහයේ දරුවන්ගේ යුතුකම් කෙරෙහි එය බාධාවක් කර නොගත් හෙතෙම හැකි සෑම අවස්ථාවකදීම දරුවන්ගේ අවශ්‍යතා සොයා බැලීමට ඩොනල්ඩ් අමතක කළේ නැත. ඔහු තුන්වැනි වරටත් විවාහ වෙද්දී දියණිය ඉවන්කා 24 හැවිරිදි වියේ පසුවූවාය.

දියණිය අරභයා දැඩි සෙනෙහසක් දැක්වූවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ සෙසු දරුවන්ටත් බෙහෙවින් ආදරය කරයි.

‘මම මගේ ජීවිත කාලය තුල කළ හොඳම දේ වුණේ ලස්සන දරුවන් ගොඩාක් හදාගැනීමයි.‘ ඔහු නිතර නිතර එසේ කියයි.

‘මම මගේ ජිවිත කාලය පුරාම දරුවන් අහිමි මාපියනුත්, මාපියන් අහිමි දරුවනුත් ඕනතරම් දැකලා තියෙනවා. ඒ අතින් මම වාසනාවන්තයි. මාව රැක බලා ගන්න මට හොඳ දරුවන් ගොඩාක් ඉන්නවා. ඒ අතරිනුත් මම දන්නවා...ඉවන්කා..එයා හැමදාම මාව ආදරෙන් රැක බලාගනීවි..‘

ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජනපති ලෙස සිය රාජකාරි ජීවිතයේ අවශ්‍යතා සොයා බැලීමට දියණියට ඇති තරම් නිදහස ලබා දී ඇත්තේ දරුවන් කෙරෙහි ඔහුගේ ඇති සෙනෙහස නිසාවෙනි. එය බටහිර රටක සංකර සිරිත් විරිත්වලින් පිරුණු සමාජයක දක්නට නොලැබෙන වර්ගයේ එකකි. ඉනුත් අමෙරිකාවේ ජනපතිවරයකුගෙන්, මහා ධන සම්භාරයකට උරුමකම් කියන ව්‍යාපාරිකයකුගෙන් සහ දෙතුන් වතාවක් විවාහ වූ පුද්ගලයකුගෙන් බලාපොරොත්තු විය හැකි දෙයක් ද නොවිය.

එසේවුවත් ජනපති ට්‍රම්ප් සිය දියණිය කෙරෙහි දක්වන සෙනෙහසේ කිසිදු වෙනසක් නම් නැත. ඇය සිය පියාගේ ආදරය විඳිමින් ධවල මන්දිරයේ නිදහසේ කාලය ගත කරමින් සිටින්නීය.

ෆවුස් මොහොමඩ්

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook