Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

කලාකරුවන්ට පෞද්ගලික ජීවිතයක් කියලා
එකක් තියාගන්න අමාරුයි
-බාචි සුසාන්



ගීතයට, සංගීතයට පුළුවන් රසික හද සන්තානයේ වෙන ම ලෝකයක් මවන්න. සංගීතය සමඟ මුසු වුණු ගීතය රසිකයන් වෙත ගෙනයන වාහකයා තමයි ගායකයා කියන්නෙ. ගායකයො කොයි තරම් බිහි වුණත් ඒ හැම කෙනෙක්ම මින්ස්සුන්ගෙ හදවතේ නවතින්නෙත් නෑ. ආලින්දයේ අද කතාබහ රසික හදවත්වල ලැගුම් ගත් සොඳුරු ගායන ශිල්පියෙක් ගැන. ඔහු නමින් බාචි සුසාන්.

කොහොමද බාචි ජීවිතේ?

වරදක් නෑ , හොඳයි. නිර්මාණ කටයුතු එක්ක මේ දවස්වල ටිකක් කාර්බහුලයි. හැමදේම ඉතින් සමබරව කරගෙන යනවා.

ළඟදි අලුත් සිංදුවක් කළේ නැද්ද?

ළඟදි වෙනස් මාදිලියේ ගීත දහයකට වැඩියෙන් කරලා තියෙනවා. ඒවා එක ගොඩේම එළියට දාන්නත් බෑ. එකින් එක තමයි දාන්න ඕන. දැන් ඔය යන විදිහ හින්දා එක ගොඩේ ඔක්කෝම දාපුවම මිනිස්සුන්ට රසවිඳින්න බැරි වෙනවා. ඒ නිසා එකින් එක දාන්න තමයි හිතන් ඉන්නෙ. ඒ ඔක්කෝම අලුත් සංගීත රටා. මම අත්හදා බැලුවා ලෝකෙ සංගීතයත් එක්ක වෙනස් වෙනස් සංගීත රටාවලට යන්නෙ කොහොමද කියන එක. ඉතින් ඒ විදිහට අලුත් ම රිදම්වලට යන අලුත්ම ගීත කිහිපයක් හිමින් සීරුවෙ එළියට දාන්න බලාගෙන ඉන්නවා.


පසුගිය කාලෙ වැඩිය පේන්න හිටියෙ නෑ නේද?


ඔව්. පහුගිය කාලෙ මම ටිකක් නිහඬව හිටියා. ප්‍රසංගවලට එහෙම වැඩිය ගියෙ නෑ,. මට ඒක ටිකක් මහන්සියි කියලා හිතුණා. ඉතින් පොඩි විවේකයක් ගත්තා. ඒකයි ප්‍රසංගවලට නොගියෙ දැන් ආයෙමත් යනවා. ඒත් වෙනදා වගේ නෑ. තෝරා බේරා ගත් ප්‍රසංගවලට යනවා, හොඳ සංගීත රටාවල් තියෙන සංගීත කණ්ඩායම් එක්ක. සමහරවිට මාව අවශ්‍යම තැන් තියෙනවා. ඒ අයට අවශ්‍යම නිසා මට යන්න වෙනවා, ඒ වගේ තැන්වලට. කොහොමටත් මෙන්න මෙහෙම දෙයක් කරන්න ඕනයි කියලා ලොකූ ප්ලෑන් එකක් නෑ. නමුත් මම ගායන ශිල්පියෙක් විදිහට මගේ වගකීම ඉටු කරන්න මොනයම් හෝ හොඳ ගීතයක් දෙකක් ගායනා කරනවා. . මිනිස්සුන්ගෙ සතුට වෙනුවෙන්, ආධ්‍යාත්මය වෙනුවෙන් ගීත ගායනා කරන්න උත්සාහ කරනවා. ඒක තමයි නිහඬතාවය. මම තාම හොයනවා, අත්හදා බලනවා. සමහර වෙලාවට ප්‍රසංගවලට නොයා, ගෙදරට වෙලා, ස්ටූඩියෝ එකට වෙලා ඉඳන් ඒවා තමා කරන්නෙ. ඒ අතරතුර පෞද්ගලික ජීවිතේ දේවලටත් කාලය මිඩංගු කරන්න වෙනවා.

ගොඩක් වෙලාවට කලාකරුවන්ට පෞද්ගලික ජීවිතයක් කියලා එකක් තියාගන්න අමාරුයි. මොකද නිර්මාණ කටයුතුයි අපේ දැක්මයි හොයන්න යද්දි අපිට ගෙදරදොර කටයුතු එහෙමත් මගහැරෙනවා. ඒ වුණත් නිතරම මං කල්පනා කරන්නෙ මගේ වගකීම් ඉෂ්ට කරන්නයි.

මේ දවස්වල නිතර අහන්න ලැබෙන ගීත ඔක්කොම ඒකාකාරී වගේ ම එකම රැල්ලකට යන ඒවා කියලා ඔබ හිතනවද?

ඒක නම් එහෙම තමයි. හැබැයි ඒක සාමාන්‍ය දෙයක්. අපේ වගේ රටවල දෙයක් ජනප්‍රිය වුණොත් ඒ විදිහ අනිත් හැමෝම ලුහුබැඳලා, එක ම රැල්ලක් හැදෙනවා. හැබැයි ඉතින් ඒ රැලි වෙනස් කරන අයත් ඉන්නවා, මේ ක්ෂේත්‍රය ඇතුළෙ. එක පාරටම ඒ රැල්ල වෙන පැත්තකට හරවනවා. මමත් උත්සාහ කරන්නෙ හැමතිස්සෙ ම ඒ රැල්ල වෙනත් පැත්තකට හරවන්න.එක ම විදිහකට යන්නෙ නැතුව ගීත නිර්මාණ කරද්දිත් මං වෙනසක් කරන්න තමා උත්සාහ කරන්නෙ. රැල්ල කියන එක ඉතින් සාමාන්‍ය දෙයක්. ඒක ලෝකෙ ඕන ම තැනක, ඕන ම රටක එහෙම වෙනවා. ඒකාකාරී විදිහට යනවා. නමුත් වෙනත් විදිහෙ සංගීතයන් තියෙනවා. හැබැයි පොප් මියුසික් කියන එක උඩින් තියෙනවා.

චිත්‍රපටියක රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් භාරගන්නවද?

මගෙ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් අවස්ථාවක් කියලා හිතුණොත් මං ඒක භාර ගන්නවා. යම්කිසි අවස්ථාවක මට මේ චරිතය ගැලපෙනවා. මේ දේ කරලා මට සමාජයට යමක් දෙන්න පුළුන් කියලා හිතුණොත් කරනවා. ඒක හොඳ අධ්‍යක්ෂකවරයෙක්, හොඳ නිෂ්පාදක වරයෙක් එක්ක යම්කිසි වෙනසක් කරන්න පුළුවන් චරිතයක් වෙන්න ම ඕන. එහෙම වුණොත් හිතලා බලනවා.

බාචිගෙ ගීතවලින් මිනිස්සු තදින් ම වැළඳගත්තු ගීතය මොකක්ද?

මං හිතන්නෙ සාමය ගැන ලියවුණු " බුදුනේ, ජේසුනෙ, අල්ලා දෙවියනෙ..." කියන ගීතය. සමාජයට පණිවිඩයක් එක්ක සකුරා සංගීත කණ්ඩායමෙන් තමයි ඒක නිර්මාණය වුණේ. මං හිතන්නෙ මිනිස්සු මට ආදරේ කරන්න පටන් ගත්තේ ඒ ගීතයෙන්.

බාචි ගායකයෙක් නොවුණා නම් මොන වගේ ක්ෂේත්‍රයක් තෝරා ගනියිද?

මං හිතනවා මං මේ වෘත්තිය තෝරගන්නෙ නැතුව වෙනයම් දෙයක් තෝරගත්තා වුණත් මට ඒකෙන් ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා. මට ඒ විශ්වාසය තියෙනවා. ඒත් මට පුංචි කාලෙ ඉඳන් ම පවුල් පසුබිමෙන් ලැබුණු ආභාසයත් එක්ක මං සංගීතයට යොමු වුණා. වෙන මොන දේකට යොමු වුණත් මේ විදිහටම කරගෙන යනවා.

ඔබ මේ ක්ෂේත්‍රය තෝරාගන්න, පවුලෙන් ලැබුණෙ කොයි වගේ ආභාසයක්ද?

මගෙ සීයා ටීටර්වලට මියුසික් කරපු මියුසික් මාස්ටර් කෙනෙක්. අපේ අම්මලා, අක්කලා පවුලෙ හැමෝම මට මතකයි මං පුංචි කාලෙ... ඩොලැක්කි, තබ්ලා ඔක්කොම ගෙනැල්ලා බජව් දානවා ගෙදර. මේ වගේ පසුබිමක් තමයි මට තිබුණෙ. ඒ දේවල් නිසා තමයි මට මේ ක්ෂේත්රය තෝරගන්න හිතුණෙ. ඒකත් එක්ක මම හැම තිස්සෙ ම හෙව්වා මම කවුද කියලා. පුංචි කාලෙත් සමහර අය කිව්වා ඔච්චර හයියෙන් කෑගහලා සිංදු කියන්න අවශ්‍ය නෑ, හිමිහිට කියන්න පුළුවන් කියලා. ඒ වුණාට මට අවශ්‍ය වෙලා තිබුණෙ මට දැනෙන දේ පිටකරන්න. සමහර වෙලාවට මට කෑගහලා කියන්න ඕනෙ නම් ඒ දේ මං එහෙම කියන්න ඕනෙ. මම හෙව්වා මාව ම. හැම තිස්සෙ ම මං අදත් බලන්නෙ මගෙ ඇතුළෙ ඉන්න කවුද? මගෙ ඇතුළෙ තියෙන හැකියාවන් මොනවද? කියලා. නිර්මාණයෙන් නිර්මාණයට මං වෙනස් වෙන්න බලනවා, එක විදිහට ම ඉන්නෙ නැතුව. මේ ගීතය එක විදිහකට ගායනා කරලා ඊළඟ ගීතය වෙන විදිහකට ගායනා කරන්න බලනවා මම.

සංගීතය ඇතුළෙ බාචිගෙ හීනය මොකක්ද?

සංගීතය කියන්නෙම හීනයක් තමයි. නොපෙනෙන දෙයක්නෙ අපි ගීතයෙන් ඉදිරිපත් කරන්නෙ මිනිස්සුන්ට. කොහොමත් මට ලොකූ හීන නෑ. පුළුවන් උපරිමයෙන් සංගීතය එක්ක ජීවත් වෙන්නත් ඒ අතරතුරේ සාමාන්‍ය කෙනෙක් විදිහට සාමාන්‍ය ජීවිතයක් පවත්වා ගෙන යන්න තමයි ඕනෙ. කොහොමත් මම සාමාන්‍ය කෙනෙක්. මට ගීත ගායනා කරන්න පුළුවන් එක තමයි මගේ හැකියාව. එතනින් එහාට මං හරිම සාමාන්‍ය කෙනෙක් විදිහට තමයි ජීවත් වෙන්නෙ.

මේ ගමනෙදි ඔබට ශක්තියක් වුණු අය ගැනත් මතක් කරමු නේද?

මගෙ ජීවිතේ අම්මගෙ තාත්තගෙ ඉඳන් පටන් ගෙන නම් ගම් වශයෙන් කියාගෙන ගියොත් ලොකු පිරිසක් ඉන්නවා, මගේ ගමනට ශක්තියක් වුණු. ඉතින් සමස්තයක් විදිහට මගෙ හඬට ආදරේ කරපු, මගෙ ගීතවලට ප්‍රතිචාර දක්වපු, අඩුපාඩු පෙන්නලා දීපු ඒ හැම කෙනෙකුට ම මම හදවතින් ම ස්තූති කරනවා. මොකද මම අද මේ රටේ මොනයම් හෝ තැනක ඉන්නවා නම් ඒකට හේතුව ඒ අය. 

අපේ වගේ රට­වල දෙයක් ජන­ප්‍රිය වුණොත් ඒ විදිහ අනිත් හැමෝම ලුහු­බැ­ඳලා, එක ම රැල්ලක් හැදෙ­නවා. හැබැයි ඉතින් ඒ රැලි වෙනස් කරන අයත් ඉන්නවා, මේ ක්ෂේත්‍රය ඇතුළෙ. එක පාර­ටම ඒ රැල්ල වෙන පැත්ත­කට හර­ව­නවා. මමත් උත්සාහ කරන්නෙ හැම­තිස්සෙ ම ඒ රැල්ල වෙනත් පැත්ත­කට හර­වන්න

කාංචනා සිරි­ව­ර්ධන

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook