Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

සීමා මායිම් දාගෙන ඕනම 
චරිතයක් භාරගත්තොත් හොඳයි.
හැබැයි මම ඒ වෙලාවේ ඇඳලා හිටියේ ඔසරියක්
-ගයේෂා

ගයේෂාගෙයි හසන්ජිත්ගෙයි කැදැල්ලට ආපු පුංචි පුතා දැන් ගයේෂාගේ ජිවිතේ ලොකු ඉඩක් වෙන්කරගෙන නේද?

අම්මෝ... ඔව්. පුතා මගේ ජීවිතේ වගේ. ඉතිං පුතා වෙනුවෙන් තමයි දැන් මම ගොඩක් කාලය වෙන් කරන්නේ. පුතා වෙනුවෙන් දවසේ කරන්න ඕන වැඩ කටයුතු ටික ඉවර කළාම රෑට තමයි පොඩි නිදහසක් හරි ලැබෙන්නේ.

දැන් පුංචි පුතාට මාස කීයද?

දැන් අශ්විත්ට මාස පහයි.

පුංචි පුතාට අශ්විත් කියන නම තිබ්බේ විශේෂ හේතුවක් නිසාද?

පුතාගේ නම තේජාන් අශ්විත් කුරුප්පු. අශ්විත් කියන්නේ ඇසතු බෝධිය කියන තේරුම. ඉතිං අපිට පුතෙක් ලැබෙන්න ඉන්නේ කියලා දැනගත්තම හිතුවා අශ්විත් කියන නම පුතාට දැම්මොත් හොඳයි කියලා. තේජාන් කියන නම දැම්මේ පුතාගේ නමට දුන්න අකුරු බලලා.

පුංචි අශ්විත් එක්ක ගෙවෙන ජීවිතේ කාර්යබහුලයි වගේම සුන්දරත් ඇති?

ඔව්. එයා හරිම සුන්දර දරුවෙක්. චීස් බෝලේ වගේ එහාට මෙහාට පෙරළි පෙරළි දඟල දඟල ඉන්නවා. එයා හරි ආසයි කතන්දර අහගෙන ඉන්න. ඉතිං පිරිත්, බණ, කවි අහන්නත් එයා ආසයි. ඒවා දාලා දුන්නම ඒවා අහගෙනම එයා නිදා ගන්නවා.

අම්මා වගේම පුතත් කලාවට සංවේදී වගේ?

ඔව්. එහෙම ළැදියාවක් පේනවා. අපිට කලාවට එන්න අවුරුදු ගාණක් ගියා. නමුත් අශ්විත් මාස තුනහමාරෙදි රූපවාහිනි වැඩසටහනකත් හිටියා. ඒ අවස්ථාව එයාට දැනටම ලැබිලා තියෙනවා.

පුතා කවදා හරි දවසක අම්මා වගේ තමන්ගේ ගමනට කලාව තෝර ගත්තොත් ගයේෂා කැමැති වෙනවද?

මම හිතනවා පුතා වෘත්තීය වශයෙන් කලාවට යොමුවෙන එකක් නෑ කියලා. කලාවෙන් හම්බ කරන්න එයාට ඕන වෙන එකක් නෑ. හැබැයි එයා නළුවෙක් වෙනවට හසන්ජිත්ගෙයි මගෙයි අකැමැත්තක් නැහැ. පුතා කැමැති දේ අනාගතයේදි කරයි. අපි එයාට හොඳට උගන්වනවා. එයා හොඳ පැත්තකින් ස්ථාවරත්වයක් ගොඩනඟාගන්නවට තමයි අපි කැමැති. විනෝදාංශයක් වෙනුවෙන් වුණත් රංගනය තෝරගන්නවා නම් හොඳ පෙනුමක්. හොඳ දක්ෂතාවයක් එයාට තියෙන්න ඕන.

අශ්විත් පුතාට මාස හයක් ගත වෙන්නත් කලින් ගයේෂා රූගත කිරීම්වලටත් එකතු වෙලා නේද?

ඇත්තටම මට අශ්විත්ව තියලා රූගත කිරීම්වලට යන එක හරිම අමාරු දෙයක්. 'මිල්ලෑව වලව්ව' කියන්නේ කලින් භාරගෙන තිබ්බ වැඩක්. නොහිතුව මොහොතක නාට්‍ය විකාශය වෙන්න ගත්තා. ඒ නිසා පුතාට මාස හයක් වෙද්දී නැවත රූගත කිරීම්වලට යන්න සිද්ධ වුණා. මොකද මට භාර ගත්ත වැඩේට අසාධාරණයක් කරන්නත් බෑනේ.

දවස් පහේම විකාශය වෙන නාට්‍යයක රූගත කිරීම්වලට යොමු වෙද්දී පුතාගේ වැඩ කටයුතු කරන්නේ කවුද?

දවසම රූගත කිරීම් කරන නිසා රූගත කිරීම් කරන තැනට ආසන්නව ඉන්න, අපි දන්න කෙනෙක්ගේ නිවසක තමයි පුතාව තියන්නේ. මගේ අම්මා හරි හසන්ජිත්ගේ අම්මා හරි පුතා ගාව තියනවා. සේවිකාවකුත් එයා ළඟ ඉන්නවා. මම පැය දෙකෙන් දෙක ගිහින් පුතාට කිරි දීලා කිරි ‍ෙදාවලා තියලා එන්නේ.

ගයේෂා ඉක්මනින්ම රංගනයට එකතු වුණාට හසන්ජිත් කැමැති වුණාද?

හසන්ජිත් විතරක් නෙමෙයි මමත් කැමැති වුණේ නැහැ මෙච්චර ඉක්මනින් රංගනයට එන්න. පුතාට මාස හයක්වත් යනකල් වැඩසටහනකටවත් යන්නේ නෑ කියලා හිතාගෙන හිටියේ. නමුත් ඒ වැඩෙත් කරන්න වුණා. රූගත කිරීම් නිසා පුතාට අපහසුතාවක් වෙන්න තිබ්බේ නෑ.

'මිල්ලෑව වලව්වේ" රූගත කිරීම් කරන්න ගිහින් ලොකු අකරතැබ්බයකටත් මුහුණ දුන්නා නේද?

ඔව්. කැලණි ගඟේ තමයි එදා ඔරුව පදින්න තිබ්බේ. ප්‍රභාත් රෝෂන් කිව්වා දුරට යන්න ඕනෙත් නෑ ළඟ තියලා ෂූට් කරමු කියලා. අපි ඉතිං වැඩේ ලස්සනට කරන්න ඕන කියලා හිතලා තමයි ඒ හරියේ ෂූට් එක කළේ. ටික ටික ඔරුවට වතුර පිරෙන්න ගත්තා. අපිව පෙරළුණ තැන අඩි විස්සක් විතර ගැඹුරුයි කියලා තමයි ගම්වාසීන් කිව්වේ.

ඒ වගේ අත්දැකීමකට මුහුණ දෙද්දි බයක් නොදැනුණා වෙන්න බෑ නේද?

මට පීනන්න බැරි නැහැ. හැබැයි මම ඒ වෙලාවේ ඇඳලා හිටියේ ඔසරියක්. ඔසරිය පටලාගෙන පීනගන්න පුළුවන්ද කියලා තමයි බය හිතුණේ. භාගයක් මෙගොඩට පීනගෙන එද්දී රූගත කිරීම බලන්න ඇවිත් හිටපු පිරිසක් අපිට උදව් කළා.

රංගන කටයුතු නැවත පටන් ගත්ත නිසා දැන් දිගටම රංගන කටයුතුවලට සම්බන්ධ වෙයිද?

පුතාට අවුරුද්දක් වෙනකල් මම අලුත් නිර්මාණයක් නම් භාර ගන්නේ නැහැ කියන තැන තමයි ඉන්නේ. මිල්ලෑව වලව්වේ රූගත කිරීම මේ වසර ඉවර වෙනකල් සිද්ධ වෙයි. රූගත කිරීම් නවත්තපු තවත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් පටන් ගන්නත් තියෙනවා. ඒ හැරෙන්න අලුත් ටෙලි නිර්මාණයක් ලබන වසරේ මාර්තු වෙනකන් භාර ගන්නේ නෑ.

පුතා නිසා රංගන කටයුතුවලට සීමා දාගන්න හැඩයි?

මම කොහොමත් අවුරුද්දකට එක නිර්මාණයක් හරි දෙකක් හරි තමයි කළේ. ටෙලි නාට්‍ය නම් ගොඩක් කළේ නැති තරම්. මම රඟනොපෑවත් මට තමයි වැඩිපුර ගොසිප් හැදුණේ. මම මොනවා කළත් ඒවා ගොසිප්වල යනවා. ඒ නිසා නිර්මාණ භාර ගන්නත් ඕනේ නෑ වගේ. කොහොම වුණත් ලැබෙන නිර්මාණ කරන්න පුළුවන්ද බැරිද කියලා ගෙදර අය එක්කත් කතා බහ කරලා කරනවා.

වැඩ භාරගන්නේ හසන්ජිත්ගෙනුත් අහලද?

ඔව්. මම එයාගෙන් අහනවා. එයාගෙනුත් අහලා ඒක කරන්න පුළුවන්ද, බැරිද ඒ නිර්මාණයට ගැළපෙන මුදල දෙනවද කියලා බලලා තමයි රඟපාන්නේ.

මුදල ගැන ගොඩක් හිතනවා වගේ?

අපි චරිතයක් වෙනුවෙන් කැපවෙනවා. අපිව ගන්නේ ඒ නිර්මාණයට ගැළපෙන නිසානේ. හොඳ නිර්මාණයක් බිහිවෙන්න නම් අපිට අවශ්‍ය වටිනාකම ලබාදෙන්න ඕන. අපි වටිනාකම වැඩි කළොත් තමයි අනාගතයේ මේ ක්ෂේ්ත්‍රයට එන්න ඉන්න අයටත් හොඳ අනාගතයක් හැදෙන්නේ.

'ඉගිලෙන මාළුවෝ' චිත්‍රපටයේ වගේ අභියෝගාත්මක චරිතයක් ලැබුණොත් මවක් විදියට ඒ වගේ චරිතයක් භාර ගන්නවාද?

පහුගිය කාලේ ඒ චිත්‍රපටය ගැන කතා බහට ලක්වුණා. දැන් සීමා මායිම් දාගෙන ඕනම චරිතයක් භාරගත්තොත් හොඳයි.

විවේචනවලට බයෙන්ද ඔය තීරණය ගත්තේ?

නැහැ. විවේචන නිසා නෙමෙයි. කොහොම වුණත් දැන් ලැබෙන චරිත ගැන හිතනවා. බලමු ලැබෙන චරිතත් එක්ක තමයි ඒක කරනවද නැද්ද කියලා තීරණය වෙන්නේ.

සැමියාගේ බිස්නස් වැඩවලට සහාය වෙලා ව්‍යාපාරික බිරිඳක් වෙන්න කැමැති නැද්ද?

එකම දේ කරන දෙන්නෙක් ගෙදර හිටියොත් කරන දේ හරියට කරගන්න බැරි වෙනවා. ඒ නිසා මම සැමියාගේ ව්‍යාපාරවලට අතගහන්නේ නැහැ. හැබැයි මගෙන් සහයක් අවශ්‍ය වෙලාවට මගේ සහාය එයාට දෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook